EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dharma Durai (2016) | නූගතුන් අතර උගත්කමට වටිනාකමක් නැහැ ධර්මා..

මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍ර‍පටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරියස් රඟපෑමක් දැක්කේ සේදුපති චිත්‍ර‍පටයෙන්. ඊට පස්සේ ධර්මදුරෙයි. 2016 අවුරුද්දේ ධර්මදුරෙයි තිරගත වෙනවා. හැමෝම ආසාවෙන් බලන් හිටපු චිත්‍ර‍පටියක් වුණාට හොඳ කොපියක් එන්න අවුරුද්දක්ම ගියා. ඉතින් සුපුරුදු පරිදි සේදුපතිගේ ධර්මදුරෙයි චිත්‍ර‍පටියටත් මගේ නමින්ම උපසිරැසිය ලියන්න අවස්ථාවක් ලැබුණා. කතාව පොඩ්ඩක් කියන්නම්.

ධර්මදුරෙයි කියන්නේ බේබද්දෙක් සහ ඔල්මාද කාරයෙක්. හද්ද පිටිසර ගමක ඉන්න ධර්මදුරෙයිගේ පවුලේ අම්මා, අක්කා, සහ අයියලා-මල්ලිලා පිරිසක් ඉන්නවා. මේ අයට දුරෙයිව අල්ලන්නේ නැති පාටයි. මොකද දුරෙයි ගෙදරින් එළියට ගිහිල්ලා අරක්කු ටිකක් බීලා ආපහු ගෙදර එන ටිකට මුළු පවුලටම අවනම්බු කරලා, අයියලා මල්ලිලාගේ ව්‍යාපාර පාවාදීලා තමයි එන්නේ. අරක්කු බොන්න යන්නෙත් මහත්තයෙක් වගේ, මල්ලිගේ කමිසේ කලිසම ඇඳලා යට කරලා එහෙම තමයි යන්නේ. ගම වටේට තමුන්ගේ සහෝදරවරු ගැන අවලං කතා කිය කිය ඉඳලා හැන්දෑවේ ගෙදරට ඇවිත් කාලා බුදියගන්නවා. මේ හේතුව නිසා අයියලා මල්ලිලා සෙට් එක ඉන්නේ ධර්මදුරෙයි ගැන හරිම කේන්තියෙන්. අවසානේ එයාලා තීරණය කරනවා දුරෙයිව මරලා දාන්න. ඒක දැනගත්තු දුරෙයිගේ අම්මා දුරෙයිව රහසේම ගෙදරන් පිටමං කරනවා. දුරෙයි  හදිස්සියට ඇඳුම් ටික දාගත්තු බෑග් එකේ එයාගේ අයියලා මල්ලිලා සීට්ටුවකට එකතු කරපු ලක්ෂ ගාණක සල්ලි තිබුණා. නමුත් දුරෙයි ඒක දන්නෙ නෑ. ධර්ම දුරෙයි ගෙදරින් ගියාට පස්සේ මොකද වුණේ?

ඊට පස්සේ තමයි ඇත්තම ධර්මදුරෙයි කවුද කියලා අපට දැනගන්න ලැබෙන්නේ. එයා ලේසි පාසු කෙනෙක් නෙවෙයි. මදුරෙයි මෙඩිකල් කොලේජ් එකෙන් ඉගෙන ගත්තු වෛද්‍යවරයෙක්. ඊට පස්සේ එයාගේ සම්පූර්ණ ඉතිහාස කතාවම අපිට බලන්න සිද්ධ වෙනවා. එච්චරටම උගත් බුද්ධිමත් වැදගත් කෙනෙක් බේබද්දෙක් ඔල්මාදකාරයෙක් බවට පත් වෙන්න නම් එයාගේ ජීවිතේ ලොකු ලොකු දේවල් සිදුවෙලා තියෙන්න ඕන නේද. එයාට වෙච්චි දේවල් මේ අපට එහෙම වුණා නම් අද අපි මොන මොන අපරාධ කරයිද අපිවත් දන්නෙ නෑ. ඩොක්ටර් ධර්ම දුරෙයි ඒවාට මුහුණ දුන්නේ කොහොමද..? ඒ සිදුවීම් සියල්ලම සහ කතාවේ අවසානය නැරඹීම ඔබට බාරයි. මේ කතාව ගම සහ නගරය යන දෙකම පසුබිම් කරගත් එකක්. ගැමි දර්ශන බොහොම අපූරුවට තිබුණා. සේදුපතිගේ චිත්‍ර‍පටියක් බලලා ඇඬුණේ පළවෙනි වතාවට නම් ඒ ධර්මදුරෙයි. හරියට මලයාලම් චිත්‍ර‍පටියක් නැරඹුවා වගේ අන්තිම වෙලාවේ ඇස් දෙකට කඳුලු ඉණුවා. ඒ තරමට සේදුපති සහ අනෙකුත් සියළුම නළු නිළි කැළ විශිෂ්ට රංගනයක නිරත වුණා. ප්‍රේමම් මලයාලම් චිත්‍ර‍පටයේ වගේ මේ කතාවෙත් ස්ටෙලා (සෘස්ති), අන්බු-සෙල්වි (අයිශ්වර්යා) සහ සුභාෂිනී (තමන්නා) කියලා යුවතියන් තුන් දෙනෙක් කරළියට එනවා. ඒ අතරින් අන්බු-සෙල්වි කියන්නේ බොහොම සුන්දර චරිතයක්.

හැමදාම වගේ මේ පාරත් අයිශ්වර්යා මනාවට ඒ චරිතය නිරූපණය කරලා තියනවා. ඒ වගේමයි රාධිකා සරත්කුමාර්. ධර්මදුරෙයිගේ අම්මා. එයයි සේදුපතියි එකතු වෙලා තමයි මාව ඇඬෙව්වේ. විෂිශ්ටයි අධ්‍යක්ෂක සීනු රාමසාමි ! ඒවගේම යුවන් ෂංකර්ගේ සංගීතයත්. මාර ලස්සන ගැමි සිංදුවක් තියනවා මැද හරියෙදි.

සාරාංශයක් ලෙස කීවොත්, ලස්සන කතාවක්, සංවේදී කතාවක්, හොඳ අවසානයක් වගේම හොඳ පාඩමක් කියාදුන් චිත්‍ර‍පටියක්. පවුලේ අයත් එක්ක එකට නරඹන්න පුළුවන් චිත්‍ර‍පටයක්. අනිවාර්යෙන් ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා. විශේෂ ස්තුතියක් කළ යුතුයි අරුණ්යා මෙනෙවියට, මෙම චිත්‍ර‍පටයේ එන ගැමි දමිළ ව්‍යවහාරය මනා කොට පැහැදිළි කර දුන් නිසා. තවත් උපසිරසියකින් හමුවන තුරු..

Comments