ඔන්න අද මං අරගෙන ආවා තවත් අලුත්ම විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍යයක්. ඒ තමයි Better Call Saul, Breaking Bad වගේ සුපිරි කතා මාලාවන් ඔබ වෙත ගෙන ආ Vince Gilligan විසින් රචනා කර අධ්‍යක්ෂණය කෙරුණු Pluribus. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් පසුගිය නොවැම්බර් 7 වැනිදා ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. නිව් මෙක්සිකෝ වල ඇල්බකර්කි නගරය පසුබිම් කරගෙන ගොඩනංවා ඇති මේ කතා මාලාව, එක්තරා පිටසක්වළ වෛරසයකට ප්‍රතිශක්තිය ඇති ලොව දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු වන කැරොල් ස්ටර්කා නම් චරිතයක් කේන්ද්‍ර කරගනිමින් දිගහැරෙනවා. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. මේ කතාමාලාවේ තේමා පාඨය වෙන්නේ e pluribus unum, ලතින් භාෂාවෙන් සඳහන් එහි සිංහල අර්ථය ‘බොහොමයකින් එකක්.’ මොකක්ද මේකේ තේරුම? අපි තවදුරටත් බලමු.

Better Call Saul, Breaking Bad වැනි “නරක මිනිස්සු ගැන කතා ලිවීමෙන් වෙහෙසට පත්” වුණු නිසා සහ වෙනස් කතා ප්‍රභේදයක් ගවේෂණය කිරීමට අවශ්‍ය වුණු නිසා මේ අලුත් තේමාව ඔස්සේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් ගොඩනැඟීමට අදහස් කළ බවයි වින්ස් ගිලිගන් සඳහන් කළේ. මේ කතාවේ මුල් අදහස වුණේ, පෘථිවියේ සිටින සෑම කෙනෙකුම එක් මිනිසෙකුට ආදරය කිරීමට හේතු වන ආකාරයේ ව්‍යසනකාරී සිදුවීමක් සම්බන්ධයෙන් වුණත්, පසුව ඔහු ඒ චරිතය කාන්තා චරිතයක් බවට පත් කළේ රියා සීහෝර්න් නම් රංගන ශිල්පිනිය සඳහා විශේෂයෙන් රචනා කරමින්. මේ කතාව වර්තමාන තත්වයෙන් වෙනස් කෙරුණු ඇල්බකර්කි නගරයක් පසුබිම් කරගත් විද්‍යා ප්‍රබන්ධ නාට්‍යයක් ලෙසයි ගොඩනැඟෙන්නේ. මේකෙදි අභ්‍යවකාශයෙන් ලැබෙන අද්භූත සංඥාවක් මිනිස් වර්ගයාගෙන් වැඩි කොටසක් ප්‍රීතිමත්, ආචාරශීලී සාමූහික විඥානයකට එහෙමත් නැත්නම් “මී වද මානසිකත්වයකට” ඒකාබද්ධ කරනවා. පසුබිම් කතාව කේන්ද්‍රගත වන්නේ, පෙනෙන අන්දමින් සංසිද්ධියෙන් බලපෑමට ලක් නොවූ එකම පුද්ගලයා වන ප්‍රධාන චරිතය වන කැරොල් ස්ටර්කා නම් කතුවරිය, නොසන්සුන් ලෙස සතුටු සිතින් සිටින මේ ආසාදිත නව ලෝකයේ සැරිසරමින් ඇය දරන අරගලය වෙතයි. මේ කතාව මොන වගේ වෙයිද කියලා දැනගන්න ආරාධනා කරනවා.

Comments