ජෙෆ්රි එප්ස්ටයින් යනු ලොව වෙසෙන අතිවිශාල ධනයක් සහ බලයක් හිමි ප්‍රභූ පිරිස් සමඟ සමීප සබඳතා පැවැත්වූ, නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගත් මූල්‍යවේදියෙ​ක්. බාලවයස්කාර දැරියන් රැසකට ලිංගික අපයෝජනය කළ බවට චෝදනා ලැබූ එප්ස්ටයින්, අවසානයේදී 2008 වසරේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී බාලවයස්කාර දැරියක ගණිකා වෘත්තිය සඳහා පෙළඹවා ගැනීමේ චෝදනාවට හසුවී දඬුවම් ලැබූ අතර, ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකු බවටද පත් විය. ඔහුට නියම වූ මාස 18ක සිර දඬුවමෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේ මාස 13ක කාලයක් පමණි.

2019 වසරේ ජූලි මාසයේදී, බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම් සඳහා යොදාගැනීමේ ෆෙඩරල් චෝදනා යටතේ එප්ස්ටයින් නැවත වරක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සම්බන්ධ නඩු විභාගය අපේක්ෂාවෙන් සිටියදී, 2019 අගෝස්තු මස 10 වන දින ඔහු සිය සිර මැදිරිය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

ඔහු සියදිවි නසාගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂකවරයා නිගමනය කළද, එප්ස්ටයින්ගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි සිදුකළ වෙනම පරීක්ෂණයකින් පෙන්වා දුන්නේ ඔහු ඝාතනය කර ඇති බවට සැක කළ හැකි බවයි. කෙසේ වෙතත්, 2025 වසරේ ජූලි මාසයේදී FBI ආයතනය සහ අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් නිගමනය වූයේ එප්ස්ටයින්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවයි.

ජෙෆ්රි එප්ස්ටයින් 1953 ජනවාරි 20 වන දින නිව්යෝර්ක් හි බෘක්ලින් හි උපත ලැබීය. ඔහුගේ මව වූ පෝලින් පාසල් සහායිකාවක ලෙස අර්ධකාලීනව සේවය කළ අතර, පියා වූ සේමූර් නිව්යෝර්ක් නගරයේ උද්‍යාන හා විනෝදාස්වාද දෙපාර්තමේන්තුවේ භූමි පාලකයෙකු (groundskeeper) ලෙස සේවය කළේය. එප්ස්ටයින් සහ ඔහුගේ බාල සොහොයුරා වූ මාර්ක් හැදී වැඩුණේ මධ්‍යම පාන්තික පවුල් පසුබිමකය. සුවිශේෂී බුද්ධිමතෙකු වූ එප්ස්ටයින්, පාසල් ශ්‍රේණි දෙකක් මඟ හැර වයස අවුරුදු 16 දී බෘක්ලින්හි ලැෆයට් උසස් පාසලෙන් සිය මූලික අධ්‍යාපනය අවසන් කළේය. ඔහු 1970 දශකයේ මුල් භාගයේදී කූපර් යූනියන් (Cooper Union) ආයතනයට සහ පසුව නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුවද, එම ආයතන දෙකෙන්ම උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් වූයේ නැත. එසේ වුවද, 1974 වසරේදී එප්ස්ටයින්ට ඉහළ පෙළේ පෞද්ගලික පාසලක් වූ ඩෝල්ටන් පාසලේ (Dalton School) භෞතික විද්‍යාව ඉගැන්වීමේ රැකියාවක් ලැබුණි. කෙසේ වෙතත්, ඔහුගේ එම සේවා කාලය කෙටි එකක් වූ අතර, “දුර්වල කාර්ය සාධනය” හේතුවෙන් වසර දෙකකට පසුව ඔහුව සේවයෙන් ඉවත් කරන ලදී.

ඩෝල්ටන් පාසලේ ගුරු වෘත්තියෙන් ඉවත් වීමට පෙර, එප්ස්ටයින්ට සිය ශිෂ්‍යයෙකුගේ දෙමාපියෙකු වූ බෙයර් ස්ටර්න්ස් (Bear Stearns) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ග්‍රීන්බර්ග් මහතා සමඟ වැදගත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකි විය. එප්ස්ටයින්ගේ ගණිතමය හැකියාවන් පිළිබඳව පැහැදුණු ග්‍රීන්බර්ග් මහතා, 1976 වසරේදී ඔහුට බෙයර් ස්ටර්න්ස් ආයතනයේ සහායක තනතුරක් ලබා දුන් අතර, එතැන් සිට ඉතා කෙටි කලකින් ඉහළ තනතුරු කරා ගිය එප්ස්ටයින්, අවසානයේ එම සමාගමේ ධනවත්ම ගනුදෙනුකරුවන්ට මූල්‍ය උපදෙස් ලබා දෙන මට්ටමට පත් විය.

1981 වසරේදී එප්ස්ටයින් බෙයර් ස්ටර්න්ස් ආයතනයෙන් ඉවත් වී ‘Intercontinental Assets Group Inc.’ නමින් සිය මූල්‍ය උපදේශන ආයතනයක් පිහිටුවා ගත්තේය. එහිදී ඔහු වංචා කරන ලද මුදල් නැවත ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට සහාය වූ අතර, ඇතැම් මූල්‍ය වංචාකරුවන්ට ද සිය සේවාවන් සැපයූ බව කියවේ. මෙම කාලවකවානුවේදී තමා බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය කරන බව ඔහු සිය මිතුරන්ට සහ සගයන්ට පවසා තිබුණද, එම ප්‍රකාශය කිසිදා නිල වශයෙන් තහවුරු වී නොමැත. කෙසේ වෙතත්, විවිධ රජයන් සමඟ ගනුදෙනු කළ බලගතු ව්‍යාපාරිකයන් සමඟ ඔහු පැවැත්වූ සමීප සබඳතා මෙන්ම 1980 දශකයේ මැද භාගයේදී ඔහු සිදු කළ පුළුල් විදේශ සංචාරයන් දෙස බලන විට, ඔහුගේ එම ප්‍රකාශයේ සත්‍යතාවක් තිබිය හැකි බවට එවකට සැක පහළ විය.

1987 දී එප්ස්ටයින් ‘Tower Financial Corporation’ නම් ණය අයකර ගැනීමේ ආයතනයකට උපදේශන සේවාවන් සැපයීම ආරම්භ කළ අතර, එම ආයතනය අවසානයේ ඩොලර් බිලියන භාගයක මහා පරිමාණ ‘පොන්සි’ (Ponzi) මූල්‍ය වංචාවකින් කෙළවර විය. එප්ස්ටයින් එම වංචාවේ ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස සැක කෙරුණද, 1993 දී එම ආයතනය බිඳ වැටීමට වසර කිහිපයකට පෙර ඔහු ඉන් ඉවත් වීම නිසා කිසිදු නීතිමය බලපෑමකට හසු නොවී ඉන් නිදහස් වීමට ඔහුට හැකි විය.

 

1988 වසරේදී එප්ස්ටයින් විසින් ‘J. Epstein & Company’ නමින් (පසුව එය ‘Financial Trust Company’ ලෙස නැවත නම් කරන ලදී) මූල්‍ය කළමනාකරණ ආයතනයක් පිහිටුවන ලදී. මෙම ආයතනය බිලියනපතියන්ට පමණක් සේවාවන් සපයන ආයතනයක් ලෙස ප්‍රචලිත විය. මෙම කාලවකවානුවේදී ඔහු ‘L Brands’ සහ ‘Victoria’s Secret’ යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ බිලියනපති ලෙස්ලි වෙක්ස්නර් මහතාගේ මූල්‍ය උපදේශකවරයා බවට පත් විය. 1990 දශකයේ මැද භාගයේ සිට බදු ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ඔහු සිය සමාගම එක්සත් ජනපද වර්ජින් දූපත් (U.S. Virgin Islands) වෙත ගෙන යන ලදී.

2000 දශකයේ මුල් භාගයේදී එප්ස්ටයින් සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කළ අතර, මාධ්‍ය සමාගම් සඳහා මූල්‍ය පහසුකම් සැපයීම, සුරැකුම්පත් අරමුදල් සංවර්ධනය කිරීම සහ ‘Hedge Funds’ හා නවක ව්‍යාපාර (Startups) සඳහා ආයෝජනය කිරීම ඒ අතර විය. හාවඩ් විශ්වවිද්‍යාලය වැනි ආයතන සඳහා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දීම වෙනුවෙන් ඔහු ‘Jeffrey Epstein VI Foundation’ නමින් තමන්ගේම ලාභ නොලබන පදනමක් ද පිහිටුවා ගත්තේය. කෙසේ වෙතත්, අද දක්වාම ඔහුගේ මෙම අතිවිශාල ධනස්කන්ධයට මූලාශ්‍ර වූ විවිධ මාර්ග නිශ්චිතවම හෙළි කර ගැනීමට කිසිවෙකු සමත් වී නොමැත.

ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන ගණනක් ලෙස ප්‍රචලිත වුවද (ෆෝබ්ස් සඟරාව මෙය සැක සහිත බව පවසයි), එප්ස්ටයින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ පුද්ගලයෙ​ක්. ඔහු ලොව ඉහළම පෙළේ ප්‍රභූවරුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ අතර, ඒ අතරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස්, ප්‍රකට නළු කෙවින් ස්පේසි, නීතිඥ ඇලන් ඩර්ෂෝවිට්ස් සහ ඇන්ඩෲ කුමරු ද ඇතුළත් වූහ. මින් ඇන්ඩෲ කුමරු වසර ගණනාවක් පුරා දැඩි ආන්දෝලනයකට ලක් වූයේ, එප්ස්ටයින් හරහා හඳුන්වා දෙනු ලැබූ තරුණියක, තමා 1999 වසරේදී යොවුන් වියේ පසුවූ කාලයේ සිට කිහිප වතාවක්ම කුමරු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට තමාට බල කළ බව මාධ්‍යයට හෙළි කිරීමත් සමඟය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී සිය රාජකීය වගකීම්වලින් ඉවත් වූ ඇන්ඩෲ කුමරු, 2022 වසරේදී තමාට චෝදනා කළ තරුණිය සමඟ වන්දි මුදලක් ගෙවා නීතිමය වශයෙන් සමථයකට පත් විය. වාර්තා වන අන්දමට එප්ස්ටයින් සිය බලගතු මිතුරන් සඳහා බාලවයස්කාර දැරියන් සහ තරුණියන් සපයා දී ඇති අතර, ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් රහසිගතව පටිගත කර පසුව එම පුද්ගලයන්ට අනිසි බලපෑම් (Blackmail) කිරීමේ අරමුණින් නිව්යෝර්ක්, පාම් බීච් සහ එක්සත් ජනපද වර්ජින් දූපත්වල පිහිටි ඔහුගේ නිවාසවල දැවැන්ත නිරීක්ෂණ කැමරා පද්ධති සවි කර තිබූ බව ද අනාවරණය වී ඇත.

1998 වසරේදී එප්ස්ටයින් සිය ව්‍යාපාරික කටයුතු එක්සත් ජනපද වර්ජින් දූපත්වල (U.S. Virgin Islands) ස්ථාපිත කර තිබියදී, ඩොලර් මිලියන 8කට ආසන්න මුදලකට ‘ලිට්ල් සෙන්ට් ජේම්ස්’ (Little St. James) නමැති අක්කර 72ක විශාලත්වයෙන් යුත් යාබද දූපතක් මිලදී ගත්තේය. ඔහුගේ ලිංගික ජාවාරම් කටයුතු මෙහෙයවනු ලැබුවේ සහ ඔහුගේ බහුතරයක් ළමා ලිංගික අපයෝජනයන් සිදුවූයේ මෙම දූපතේ බවට චෝදනා එල්ල වී තිබේ. මෙම දූපත වෙත ජාවාරම් කර රැගෙන එන ලද බාලවයස්කාර දැරියන් අතර වයස අවුරුදු 12ක තරම් ලාබාල දැරියන් පවා සිටි බව වාර්තා වේ.

(Eugenics – අඩු සමාජමට්ටමේ මිනිසුන්/ ආබාධිත මිනිසුන් වඳභාවයට පත් කර ඉහල මට්ට​මේ ජාන සහිත පුද්ගලයක් පමණක් පැතිරවී​ම සම්බන්ද ව්‍යාපෘතිය​ක්) සහ ට්‍රාන්ස්හියුමනිසම් (Transhumanism) කෙරෙහි විශ්වාසය තැබූ අයෙකු වූ එප්ස්ටයින්, නිව් මෙක්සිකෝවේ ස්ටැන්ලි අසල විශාල ගොවිපළක් මිලදී ගත්තේය. 2019 අගෝස්තු මාසයේ නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පතේ පළ වූ ලිපියකට අනුව, අවම වශයෙන් කාන්තාවන් 20 දෙනෙකු පමණ ගැබ් ගැන්වීම මගින් “සිය DNA මගින් මානව සංහතිය බෝ කිරීමට” ඔහු එහිදී අදහස් කර තිබුණි. එප්ස්ටයින් සතුව තිබූ තවත් අසාමාන්‍ය අදහස් අතර, ඔහුගේ හිස සහ ලිංගික අවයව ශීත කර තැබීමට (freeze) තිබූ කැමැත්ත ද ඇතුළත් විය. ජාන තාක්ෂණය දියුණු වීමත් සමඟ අනාගතයේදී කවදා හෝ දිනක ඒවා නැවත පණ ගැන්වීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළා.

2005 වසරේදී, ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පදිංචි 14 හැවිරිදි දැරියකගේ දෙමාපියන් විසින් එප්ස්ටයින් සිය දියණියව ලිංගික අපයෝජනයට ලක් කළ බවට බලධාරීන්ට පැමිණිලි කරන ලදී. මෙම විමර්ශනයේදී එප්ස්ටයින් අතින් ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන තරුණියන් සහ බාලවයස්කරුවන් දුසිම් ගණනක් පිළිබඳ තොරතුරු අනාවරණය වුවද, අවසානයේදී ඔහුට එරෙහිව ගොනු කරන ලද්දේ චෝදනා දෙකක් පමණි. එනම් බාලවයස්කාරියක ගණිකා වෘත්තිය සඳහා පෙළඹවීම සහ බාලවයස්කාරියන් ගණිකා වෘත්තිය සඳහා සපයා දීමයි.

ෆ්ලොරිඩා බලධාරීන් සමඟ ඇති කරගත් “සහනදායී එකඟතාවයක්” (sweetheart deal) මත, එප්ස්ටයින් මෙම බරපතල ලිංගික අපරාධ චෝදනාවලට වරදකරු බව පිළිගත්තේය. ඒ අනුව 2008 වසරේදී ඔහුට හිමි වූ මාස 18ක සිර දඬුවමෙන් මාස 13ක කාලයක් ඔහු බන්ධනාගාරයේ ගත කළ අතර, එහිදී ඔහුට රැකියා සඳහා පිටතට යාමට අවසර දෙන ලිහිල් කොන්දේසි සහිත දඬුවමක් හිමි විය. එසේම වින්දිතයන් තිස් හය දෙනෙකුට වන්දි ගෙවන ලෙසත්, ලිංගික අපරාධකරුවන්ගේ නාමලේඛනයට ඔහුගේ නම ඇතුළත් කරන ලෙසත් අධිකරණය නියෝග කරන ලදී.

එකල ෆ්ලොරිඩාවේ දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිඥවරයා වූ ඇලෙක්සැන්ඩර් ඇකොස්ටා මහතා පසුව හෙළි කළේ, තමාට මෙවැනි ලිහිල් එකඟතාවක් ලබා දීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවයි. ඇකොස්ටා මහතාට අනුව, මෙම මූල්‍යවේදියා රහසිගතව රජය වෙනුවෙන් සේවය කරන බවට ඔහුට තොරතුරු ලැබී තිබුණි. කෙසේ වෙතත්, 2019 ජූලි මාසයේදී එප්ස්ටයින්ට තිබූ විශේෂ වරප්‍රසාද අවසන් වූ අතර, බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම් සඳහා යොදාගැනීමේ සැකය මත බලධාරීන් විසින් ඔහුව නැවත වරක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔහු තමා නිවැරදිකරු බව ප්‍රකාශ කළද, ඔහුට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර නඩු විභාගය අපේක්ෂාවෙන් නිව්යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් විශෝධන මධ්‍යස්ථානය වෙත ඔහුව යොමු කරන ලදී.

2019 ජූලි 23 වන දින, එප්ස්ටයින් සිය සිරමැදිරිය තුළ බෙල්ලේ තුවාල සහිතව සිටිනු සොයාගත් අතර, ඒ හේතුවෙන් ඔහුව සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති පුද්ගලයින් නිරීක්ෂණය කරන (suicide watch) විශේෂ ආරක්ෂිත පියවර යටතේ තබන ලදී. ඉන් සති තුනකටත් අඩු කාලයකට පසුව, එනම් 2019 අගෝස්තු 10 වන දින උදෑසන, මැන්හැටන්හි මෙට්‍රොපොලිටන් විශෝධන මධ්‍යස්ථානයේ පිහිටි සිය සිරමැදිරිය තුළ එප්ස්ටයින් මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.ඔහුගේ මරණය සිදු වූ ආකාරය බෙහෙවින් සැක සහිත බව විවිධ පාර්ශවයන් තර්ක කළහ. වාර්තා වූ අන්දමට එදින රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන් නින්දට වැටී තිබූ අතර, නියමිත වේලාවන්හිදී එප්ස්ටයින් පිළිබඳ පරීක්ෂා කිරීමට ඔවුන් අපොහොසත් වී තිබුණි. එසේම, ඔහුගේ සිරමැදිරිය නිරීක්ෂණය කළ යුතු කැමරා ද එකල ක්‍රියා විරහිත වී තිබූ බව අනාවරණය විය.

නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂකවරයා නිගමනය කළේ එප්ස්ටයින් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඔහුගේ බෙල්ලේ අස්ථි කිහිපයක් බිඳී තිබූ අතර, ඒ අතර සාමාන්‍යයෙන් ගෙල මිරිකා මරාදැමීමකදී බිඳී යන ‘හයොයිඩ්’ (hyoid) අස්ථිය ද විය.

වෛද්‍ය පරීක්ෂකවරයාගේ නිගමනය පිළිබඳ සෑහීමකට පත් නොවූ එප්ස්ටයින්ගේ පවුලේ සාමාජිකයන්, ඔවුන්ගේම වෛද්‍යවරයෙ​ක් (pathologist) කුලියට ගත් අතර, පවතින සාක්ෂි අනුව ඔහු ඝාතනය කර ඇති බවට වැඩි ඉඩක් පවතින බව එම විශේෂඥයා ප්‍රකාශ කළේය. එසේ වුවද, 2023 ජූනි මාසයේ නිකුත් වූ වාර්තාවකට අනුව, අධිකරණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජනරාල් කාර්යාලය එප්ස්ටයින්ගේ මරණයේදී කිසියම් අපරාධමය මැදිහත්වීමක් සිදු වූ බවට සාක්ෂි සොයා ගත්තේ නැත. නමුත් බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ “බරපතල අතපසුවීම් රැසක්” සිදු වූ බවත්, එප්ස්ටයින් මියගොස් සිටියදී සොයා ගැනීමට පෙර දින සවස් කාලයේ සිට පැය කිහිපයක් යනතුරු ඔහුව කිසිදු අධීක්ෂණයකින් තොරව තබා ඇති බවත් එහිදී පෙන්වා දෙන ලදී. එෆ්.බී.අයි (FBI) ආයතනය මගින් සිදු කළ පරීක්ෂණයකින් ද එප්ස්ටයින්ගේ මරණය අපරාධයක් බවට සාක්ෂි හමු නොවීය.

2025 වසරේ ජූලි මාසයේදී, FBI ආයතනය සහ අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තාවක් මගින් එප්ස්ටයින් සියදිවි නසාගෙන ඇති බවට වෛද්‍ය පරීක්ෂකවරයා කළ නිගමනය තවදුරටත් තහවුරු කරන ලදී. ඔහුගේ මරණය සිදුවීමට පෙර පැය කිහිපය තුළ කිසිවෙකුත් ඔහුගේ සිරමැදිරියට ඇතුළු නොවූ බව පෙන්වන පැය අටක පමණ වීඩියෝ දර්ශන පිරික්සීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබුණි.

එප්ස්ටයින් කිසිදා විවාහ වී නොසිටියද, ඔහු බ්‍රිතාන්‍ය උසස් පැලැන්තියේ සාමාජිකාවක (socialite) වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමඟ දීර්ඝකාලීන සබඳතාවක් පැවැත්වීය. 2020 ජූලි 2 වන දින, නිව් හැම්ප්ෂයර් හි බ්‍රැඩ්ෆර්ඩ්හිදී FBI ආයතනය විසින් මැක්ස්වෙල්ව අත්අඩංගුවට ගන්නා ලදී. අපරාධමය ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීමේ අභිප්‍රායෙන් බාලවයස්කාරියන් ප්‍රවාහනය කිරීම සහ අධිකරණය හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම (perjury) ඇතුළු චෝදනා හයක් ඇයට එරෙහිව එල්ල විය. නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්කයේ වැඩබලන එක්සත් ජනපද නීතිඥ ඕඩ්රි ස්ට්‍රෝස් මහත්මිය ප්‍රකාශ කළේ, “මැක්ස්වෙල් බාලවයස්කාර දැරියන් පොළඹවා ගෙන, ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, පසුව ඇය සහ එප්ස්ටයින් විසින් ඔවුන් වෙනුවෙන් අටවා තිබූ උගුලට ඔවුන්ව හසුකර දුන්” බවයි. ඇය තමා නිවැරදිකරු බව ප්‍රකාශ කළද, එම මාසයේම පසුව ඇයට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 2021 දෙසැම්බර් මාසයේදී, ජූරි සභාව ඒකමතිකව තීරණය කළේ ඇයට එල්ල වූ චෝදනා හයෙන් පහකටම ඇය වරදකරු බවයි. ඇය දැනට ෆ්ලොරිඩාවේ ටැලාහාසි හි වසර 20ක සිර දඬුවමක් විඳිමින් සිටින අතර ඇයට ඩොලර් 750,000ක දඩයක් ද නියම විය.

2020 මැයි මාසයේදී, නෙට්ෆ්ලික්ස් (Netflix) ආයතනය විසින් ‘Jeffrey Epstein: Filthy Rich’ නමින් පැය හතරක වාර්තාමය වැඩසටහන් මාලාවක් නිකුත් කරන ලදී. එමගින් මෙම මූල්‍යවේදියාට එරෙහිව එල්ල වී ඇති දීර්ඝ අපරාධ චෝදනා ලැයිස්තුව සහ ඔහු වටා ගෙතී ඇති විවිධ කුමන්ත්‍රණ න්‍යායන් පිළිබඳව විමසා බලන අතර, ඔහුගෙන් අගතියට පත් වූ වින්දිතයන් රැසකගේ සම්මුඛ සාකච්ඡා ද එහි ඇතුළත් වේ. මෙහි අධ්‍යක්ෂිකා ලීසා බ්‍රයන්ට් මහත්මියට අනුව, මෙහි රූගත කිරීම් 2018 වසරේදී ආරම්භ කර ඇති අතර, ඊළඟ වසරේ ග්‍රීෂ්ම සෘතුවේදී එප්ස්ටයින්ගේ අත්අඩංගුවට ගැනීම සහ මරණය සිදුවීමත් සමඟ මෙම ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ඇත.

“ඇමරිකානු අධිකරණ පද්ධතිය කෙතරම් දුරට බිඳ වැටී ඇත්ද සහ එය බලය හා දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් සකස් වී ඇති ආකාරය මෙයින් මනාව හෙළිදරව් වෙනවා,” යනුවෙන් බ්‍රයන්ට් මහත්මිය මාද්‍ය වෙත පවසා තිබුණි. “මිනිසුන් මෙය දැක ඒ පිළිබඳව කෝපයට පත් වනු ඇතැයි ද, එමගින් යම් වෙනසක් සඳහා පෙළඹවීමක් ඇති වනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙනවා.”

ඉන් මාස තුනකට පසුව, එනම් 2020 අගෝස්තු මාසයේදී, ලයිෆ්ටයිම් (Lifetime) නාලිකාව මගින් ‘Surviving Jeffrey Epstein’ නමින් විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. එමගින් විමර්ශනය කෙරුණේ මෙම නිව්යෝර්ක් බිලියනපති පුද්ගල​යා සිය ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගල සබඳතා භාවිතා කරමින්, කුඩා දැරියන්ට එරෙහිව සිදු කළ ඔහුගේ අපරාධකාරී හැසිරීම් වසන් කරගත් ආකාරය පිළිබඳවයි. එප්ස්ටයින් විසින් බාලවයස්කාර දැරියන් ගෙන්වා ගැනීම සඳහා ලිංගික ජාවාරම් සම්බන්ධ ‘පොන්සි’ (Ponzi) ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ අයුරු මෙහිදී හෙළිදරව් කෙරුණු අතර, සාධාරණයක් ඉටු නොවූ තත්ත්වයක් තුළ වින්දිතයන් මුහුණ දෙන දුක්ඛිත ප්‍රතිඵල පිළිබඳව ද මෙම වාර්තාමය වැඩසටහන මගින් ගැඹුරින් විමසා බලා ඇත.

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ ​යසිරු හසරංග” විසින්.

Comments