EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Parasakthi (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:K S Jairam, Milind Rau, Sudha Kongara Prasad
Cast
Go Full Cast Pageඒකාකාරී නොවෙමින් විවිධත්වයේ එකමුතුව කරා
මෙහි අධ්‍යක්ෂකවරිය වන්නේ Irudhi Suttru (2016)සහ Soorari Pottru (2020) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුධා කොංගරා. මේ අතරින් Soorarai Potru චිත්‍රපටයෙන් ඇයගේ කීර්තිය වඩාත් පුළුල් වූවා කීවොත් නිවැරදියි. සූරියා හා නැවත සංකලනයක් ලෙස බිහි වීමට තිබු මෙම Suriya 43 ව්‍යාපෘතියට දුල්කර් සල්මාන්ද සම්බන්ධ වීමට සූදානමින් සිටියා. දුල්කර් මීට එක් වූයේ කමල් හාසන්ගේ Thug Life සඳහා ලැබුණු ඇරයුමද ඉවත ලමිනුයි. සූරියා ඔහුගේ කාල වේලාව වෙන් කර ගැනීමේ ගැටළුවක් නිසාවෙන් මෙයින් ඉවත් වූ බව සුධා පැවසුවා. තවද මෙම ව්‍යාපෘතියට නස්රියා, දුෂ්ඨ චරිතය වෙනුවෙන් විජය වර්මා ද, මාධවන් සහ අදිති ශංකර් යන අයද නාමිකව ඇතුලත්ව සිටි බව සඳහන්. අනතුරුව මෙය ශිවකාර්තිකේයන් වෙත යොමු වනවා. ශිවකාර්තිකේයන් සමඟ මෙහි රවී මෝහන්, ශ්‍රීලීලා, ආදර්වා මුරලි, ප්‍රකාෂ් බෙලවාඩි, දේව් රාම්නාත්, චෙතන්, ගුරු සෝමසුන්දරම්, කාලි වෙන්කට් යන අය චරිත රඟ දක්වනවා. ඒ වගේම්ස් මෙහි විශේෂ පෙනීම් සිටීම් ලෙස රාණා ඩග්ගුබාටි, කන්නඩ නළු ධනන්ජය සහ අධ්‍යක්ෂක බැසිල් ජෝසප් යන අය එක් වනවා.
මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1965 තමිල්නාඩුවේ හින්දි භාෂාව බලෙන් පැවරීමට එරෙහිව ඇති වූ විරෝධතාවයි. මෙම විරෝධතා 1950 දශකයේ අගභාගයේ සිට 1960 දශකය දක්වා කාලය තුළ ඉතා දැඩිවම පැවති අතර, විශේෂයෙන් 1965දී ඉතා තීව්‍ර වූවා. එකල බ්‍රිත්‍යාන්‍යය රට හැර යාමෙන් පසුව ඉන්දියාවේ මධ්‍යම රජය විසින් තව දුරටත් වහල් යුගයේ භාවිතා කළ ඉංග්‍රීසි භාෂාව අතහැර තම ස්වදේශීය හින්දි භාෂාව නිල භාෂාව කිරීමට තීරණය කිරීමත් සමඟ ඊට ද්‍රවිඩයන්ගේ විරෝධය එල්ල වුණා. තමිල්නාඩුවේ, එනම් එකල මැඩ්‍රාස් හි තරුණයන්, සිසුන්, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු ජනතාව අතර අති මහත් විරෝධයක් ඇති වුණා. ප්‍රාන්තය පුරා ශිෂ්‍ය සමුළු කිහිපයක් සංවිධානය කළ “මදුරාසි ප්‍රාන්ත හින්දි විරෝධී සමුළුව” සඳහා මදුරාසිය, මහාරාෂ්ට්‍රය, කේරළය සහ මයිසූර් යන ප්‍රදේශවලින් සිසුන් 700ක් සහභාගී වූවා. තත්ත්වය තවත් උග්‍ර කරමින්, 1965 වසරේ ජනවාරි 26 සිට ඉංග්‍රීසි වෙනුවට හින්දි භාෂාව භාවිතා කරන ලෙස චක්‍රලේඛ නිකුත් කළා. ජනවාරි 16 වන දින අන්නාදුරෛ ජනවාරි 26 වන දින (ඉන්දියාවේ ජනරජ දිනය) ශෝක දිනයක් ලෙස සමරන බව නිවේදනය කළා. එවකට මහ ඇමති භක්තවත්සලම් ජනරජ දිනයේ පූජනීයත්වයට හානි කිරීම රජය ඉවසන්නේ නැති බවත්, සිසුන් දේශපාලනයට සම්බන්ධ වුවහොත් ඔවුන්ට එරෙහිව “දැඩි ක්‍රියාමාර්ග” ගන්නා බවත් ප්‍රකාෂ කළා.
මෙය භාෂා අයිතිය, කලාපීය අනන්‍යතාවය, සංස්කෘතික ආරක්ෂාව ආශ්‍රිත මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වුණා. මෙම සිදුවීම් තමිල්නාඩු දේශපාලනයේ DMK පක්ෂය බලයට එළඹීමටද තීරණාත්මක වූ අවධියක්. මෙහිදී DMK පක්ෂය තම “ශෝක දිනය” එක් දිනකින් ඉදිරියට ගත්තා. ඒ අනුව ඊළඟ දිනට සැලසුම් කර තිබූ උද්ඝෝෂණ වැළැක්වීම සඳහා ජනවාරි 25 වන දින අන්නාදුරෙයි සහ තවත් DMK සාමාජිකයින් 3,000ක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ජනවාරි 26 දින මදුරාසි නගරයේ විද්‍යාලවලින් පැමිණි සිසුන් 50,000ක් නේපියර් උද්‍යානයේ සිට ශාන්ත ජෝර්ජ් චතුරස්‍රයේ පිහිටි රජයේ ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගොස් මහ ඇමතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
ජනවාරි 25 දින මදුරෛ උද්ඝෝෂණය කළ සිසුන් සහ කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් අතර ඇති වූ ගැටුමක් පාලනය කළ නොහැකිව එය කැරැල්ලක් බවට පත් විය. කැරලි පසුව ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවලටද පැතිර ගිය අතර පොලිසිය ලාතී(රිටි) ප්‍රහාර සහ ශිෂ්‍ය පෙළපාලිවලට වෙඩි තැබීම්වලින් ප්‍රතිචාර දක්වනු ලැබුවා. දේපළ ගිනි තැබීම්, කොල්ලකෑම් සහ පොදු දේපළවලට හානි කිරීම් සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. දුම්රිය මැදිරි සහ දුම්රිය ස්ථානවල තිබූ හින්දි නාම පුවරු පුළුස්සා දැමුවා. ටෙලිග්‍රාෆ් කණු කපා දැමූ අතරම දුම්රිය මාර්ග අවහිර කරනු ලැබුවා. භක්තවත්සලම් රජය මෙය නීතිය හා සාමය පිළිබඳ ගැටළුවක් ලෙස සලකා උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට අර්ධ මිලිටරි බලකායන් ගෙන්වා ගත්තා. පොලිස් ක්‍රියාමාර්ගවලින් කෝපයට පත් ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමුවා. උද්ඝෝෂකයින් කිහිප දෙනෙකු සිරුරට ගිනි තබා ගනිමින් සහ වස පානය කරමින් සියදිවි නසා ගත්තා. සති දෙකක කැරලිවලින් පුද්ගලයන් 70ක් පමණ මිය ගිය බව නිල වාර්තා සඳහන් කළත්, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව 500ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි. මෙහිදී විශාල සිසුන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර, දේපළ හානිය රුපියල් මිලියන දහයක් ලෙස තක්සේරු කරන කර තිබුණා.
පෙබරවාරි පළමු සතිය පුරාම කැරලි පැවති අතර දෙවන සතිය වන විට සිසුන්ට උද්ඝෝෂණයේ පාලනය ගිලිහී ගියා. සාමය පවත්වා ගන්නා ලෙස අන්නාදුරෙයි කළ ඉල්ලීම නොතකා ප්‍රචණ්ඩත්වය දිගටම පැවැතෙද්දී දෙපාර්ශවයම සම්මුතියකට පැමිණීමට උත්සාහ කළා. පෙබරවාරි 11 වන දින, රජයේ භාෂා ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් මදුරාසි ප්‍රාන්තයේ මධ්‍යම අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් කළත් ජනාධිපති සර්වේපල්ලි රාධක්‍රිෂ්ණන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. පසුව මධ්‍යම-ප්‍රාන්ත සහ අන්තර්-ප්‍රාන්ත සන්නිවේදනය සඳහා ඉංග්‍රීසි භාෂාව අඛණ්ඩවම භාවිතා කරන බවටත්, සමස්ත ඉන්දියානු සිවිල් සේවා විභාගය දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන බවටත් මධ්‍යම අමාත්‍යවරුන් දෙමළ ජනතාවට සහතික වූවා. එනමුත් මෙම හින්දි විරෝධය එතැනින් අවසන් වූයේ නැහැ. ඒවාට උදාහරණ බොහෝ දෙමළ චිත්‍රපටවල හාස්‍ය ජවනිකාවල හින්දි ප්‍රජාව උපහාසයට ලක් කිරීම ආදීය දැක්විය හැකියි. හින්දි විරෝධය විටින් විට ඇවිලෙන ගිනි දල්ලක් ලෙසින් තවමත් දැල්වෙමින් තිබෙනවා. හරියට තාමත් ගොඩ ගන්න අපේ මහ විරු ප්‍රභා තෑගි කරලා ගිය මුදා නොගත් ප්‍රදේශ වල තියන බිම් බෝම්බ වගේ. කොතන වළ දාලද කොයි වෙලාවේ පත්තු වෙයිද කියන්න බැහැ.
දෙමළ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ අග්‍රගණ්‍ය නළු සිවාජි විසින් රඟ පෑ Parasakthi (1952) චිත්‍රපටයට දෙමළ සිනමාවේ හිනි පෙත්තේ වැජඹෙන නිර්මාණයක්. SK 25 ව්‍යාපෘතිය, එබඳු සංවේදී නාමයක් වූ Parasakthi ලෙස නම් කිරීමත් සමඟ නඩිගර් තිලගම් සිවාජි සමූග නල පේරවෛ සමූහය විසින් ප්‍රකාෂයක් නිකුත් කරමින් පරාශක්ති චිත්‍රපටය දෙමළ සිනමාවේ පුනරුදයක් ඇති කළ බවත් එයට කරුණානිධි විසින් රචනා කළ දෙබස් අදටත් ප්‍රශංසාවට ලක්වන බව පවසමින් එයට විරෝධය එල්ල කළා. එනමුත් AVM ආයතනය ඩවුන් පික්චර්ස් වෙත මෙම නාමය භාවිතා කිරීමට අවසරය ලබා දුන්නා. තවද විජේ ඇන්ටනිගේ Shakthi Thirumagan නම් තෙළිඟු චිතපටයේ දෙමළ හඬ කැවූ අනුවාදය Paraasakthi ලෙස නම් කරමින් මෙම චිත්‍රපටයේ නාමය ප්‍රකාෂයට පත් කරනු ලැබු දිනයේදීම නිවේදනය කරනු ලැබුවා. පසුව ඩවුන් පික්චර්ස් සමඟ සාකච්ඡා කොට ඔවුන් එය Badrakaali ලෙස වෙනස් කරනු ලැබුවා.
මෙය GV ප්‍රකාෂ් කුමාර්ගේ සියවැනි සංගීත අධ්‍යක්ෂණය. ප්‍රකාෂ් මීට පෙර සුධාගේ Soorarai Pottru සහ එහි හින්දි ප්‍රති නිර්මාණය වන Sarfira (2024) චිත්‍රපටවලට සංගීතයෙන් දායක වූවා. ඉලෛයරාජාගේ පුත් යුවන් ශංකර් රාජා සහ ඒ.ආර්. රහුමාන්ගේ පුත් ඒ.ආර්. අමීන් මෙහි ගී ගායනයට එක් වීම සුවිශේෂයි. තවද මෙහි ගීත ගායනයට ප්‍රවීණ ගායක ගායිකාවන් වන යුවන් හරිචරන්, දී, සීන් රෝල්ඩන්, නාකාෂ් ආසිස් දායක වී තිබෙනවා. ශිවකාර්තිකේයන්ගේ ද ඉන් එක් ගීතයක් ගායනයට සම්බන්ධව තිබෙනවා. ප්‍රකාෂ් කුමාර් තම සියවැනි චිත්‍රපටය සිහිවටනයක් කර ගැනීමට අපොහොසත්ව තිබෙනවා. උදාහරණයක් විදියට “අඩි අලයේ” ගීතය කන් දෙක ඇතුලේ ඉඳන් බෙලෙක්කයක් හොලවනවා වාගෙයි. ගී පදවැල් ඊටත් හපන්. දෙමළ සිනමාවේ ඉහළින්ම වැජඹෙන සංගීත අධ්‍යක්ෂකවරුන් අතර ප්‍රකාෂ් කුමාර් අද්විතීය සංගීත නිපැයුම් කරුවෙක්. ඔහුව වාණිජ සිනමාවෙන් වෙන් කළා නම් තවත් උත්පාදන බිහි වේවි. ඒ වගේම වාණිජ සිනමා රංගනයෙනුත්. ඔහුගේ ඇල්බම් අතර Kereedam (2007), Polladhavan (2007), Kaalai (2007), Aayirathil Oruvan (2009), Aadukalam (2010), Deiva Thirumagal (2011), Theri (2016), Asuran (2019), Soorarai Pttru (2020), Mark Antony (2023) යන චිත්‍රපට ඇල්බම් අති මහත් ප්‍රේක්ෂක ආදරයට පත් වුණා.
ඉ.රු. කෝටි 150 – 200ක් අතර මුදලක් වැය කර නිෂ්පාදනය කළ මෙය ඉ.රු. කෝටි 100ක පමණ මුදලක් පමණයි උපයා ගැනීමට හැකි වූයේ. ශිවාට රජිණිගේ ශෛලිය හා රංගනය කා වැදී ඇති බව බොහෝ දෙනා සාක්ෂි දරණවා. ඒ නිසාම වෙන්නට ඇති සුධා රජිණිව හිතේ තියාගෙන ශිවාව අධ්‍යක්ෂණය කළ බව දෙබස් වලින් සහ ඔහුගේ රංගනයෙන් කැපී පෙනෙනවා. ඇය දැඩි රජිණි රසිකාවියක් බව කිහිප විටෙක සඳහන් කර තිබෙනවා. ශ්‍රීලීලාගේ කුළුදුල් දෙමළ චිත්‍රපටය වන්නේ මෙයයි. ඇගේ චරිතය වෙනුවෙන් ඇය විසින්ම හඬකැවීම් කර තිබෙනවා. ඇයට මේ වෙනුවෙන් මාස තුනක් දෙමළ ඉගෙනීමට සිදුව තිබෙනවා. තවද මෙය ඇයගේ සිනමා දිවියේ පළමු වාණිජ නොවන චිත්‍රපටයයි. කැපී නොපෙනෙන චරිතයන්‍ට රාණාව හා ධනන්ජයව ගෙන්වා ගැනීම අපරාදයක්. පෑන් ඉන්ඩියා නම් ප්‍රෝඩා සංකල්පය බිහි වීමෙන් පසු හුදෙක් වාණිජ පරමාර්ථයෙන් දැන් දැන් මේ ආකාරයට අනෙක් ප්‍රාන්තවල නළු නිළියන්ගේ විශේෂ පෙනී සිටීම් බලෙන් ඇතුලත් කරනවා වැඩි වශයෙන් දැකිය හැකියි. මුලින් රාණාගේ චරිතය වෙනුවෙන් විජේ දේවරකොණ්ඩාගෙන් ඇරයුම් කළ බව සුධා සඳහන් කළා. මෙහි දුම්රිය ස්ථානවල දර්ශන රූගත කිරීම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේදීයි.
ශිවා මීළඟට පුෂ්කර් – ගයත්‍රි යුගලය, විනායක් චන්ද්‍රසේකර්, වෙන්කට් ප්‍රභූ, සිවකුමාර් මුරුගේසන් යන අය සමඟ කටයුතු කිරීමට නියමිතයි. මේ අතරින් සිවකුමාර් මුරුගන් SK 26 චිත්‍රපටයේ ප්‍රමෝ වීඩියෝවක් මේ වන විට රූගත කර ඇති බව වාර්ථා වනවා.











