EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Ugly Stepsister (2025) | අවලස්සන සුළු සහෝදරිය
ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා අතරේ තියෙන අතිශයින්ම ජනප්‍රිය කතාන්තරයක් තමයි “සින්ඩරෙල්ලා”. එදා මෙදා තුර ඒ ඇසුරින් ලොව පුරාම නිර්මාණය වුනු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සංඛ්‍යාව මන් හිතන්නෙ අනන්තයි අප්‍රමාණයි. හැමෝම දන්න විදිහට ඒ කතාවෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ වීරවරිය තමයි සින්ඩරෙල්ලා. දුෂ්ට චරිත තමයි එයාගෙ කුඩම්මා සහ ඇගේ දියණියන් දෙදෙනා. තම පියා මිය ගියාට පස්සෙ කුඩම්මගෙ සහ සුලු සහෝදරියන් දෙදෙනාගෙ තාඩන පීඩන මැද්දෙ, තමන්ගේම මන්දිරයේ බැල මෙහෙවරකම් කරලා, තම මියගිය අම්මාගේ උදව්වෙන්, රටේ රාජ කුමාරයා තමන් විවාහවන කුමරිය තෝරගන්නා බාල් නැටුමට ගිහින්, කුමරුගේ හිත දිනාගෙන, ඔහු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගතකරන සින්ඩරෙල්ලාගේ කතාව තමයි “සින්ඩරෙල්ලා”. සින්ඩරෙල්ලාගෙ විතරක් නෙමෙයි රටේ සෑම වංශවත් තරුණියකගේම සිහිනය තමයි ඒ බාල් නැටුමට සහභාගිවෙලා කුමරුගෙ හිත දිනාගන්න එක. ඉතින් ඒ සිහිනය සින්ඩරෙල්ලාගෙ සුලු සහෝදරියන්ටත් තියෙන්න බැරිද? විශේෂයෙන්ම මේ දෙදෙනාගෙන් වැඩිමලා වූ එල්විරාගෙ පැත්තෙන් මේ කතාව දිහා අලුත්ම මානයකින් බලපු, තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ Emilie Blichfeldt අතින් ලස්සන තිර පිටපතක් ලියවුනා. එතනින් නොනැවතුන ඇය තමන්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යයක්ෂනය ලෙස එය නෝර්වීජියානු සිනමාව හරහා ලෝක සිනමාවට තිලිණ කලා. ඒ තමයි Den stygge stesøsteren හෙවත් The Ugly Stepsister.
මුල්වරට එක්සත් ජනපදයේ Sundance Film Festival හී 2025 ජනවාරි 23 දින තිරගත කෙරිනි. ඉන්පසු the 75th Berlin International Film Festival හී 2025 පෙබරවාරි 16 දිනත් තිරගත කල අතර එහිදී හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නම් අතරටද එක්විය. පසුව නෝර්වේහීදී 2025 මාර්තු 07 දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයාගනිමින් තම ගමන ආරම්භ කල “අග්ලි ස්ටෙප්සිස්ටර්” මේ වනවිට 7/10 ක IMDb අගයක් ලබාගනිමින් ටොමැටෝ මීටරයද 95% කට කරකවන්න සමත්වෙලා තියෙනවා. විනාඩි 109 ක ධාවන කාලයක් සහිත වන අතර Dark Comedy, Drama, Body Horror යන කැටගරි වලට අයත් වෙනවා. මෙහි එල්විරා ලෙස Lea Myren ඉතා දක්ෂ රඟපෑමක නිරතවෙනවා. ඊට අමතරව Ane Dahl Torp ( කුඩම්මා / රෙබෙකා ), Thea Sofie Loch Næss (සින්ඩරෙල්ලා / ඇග්නස් ) සහ Flo Fagerli (අල්මා) රඟපෑමෙන් දායක වෙනවා.
ඉතින් මේකෙ ප්‍රධාන චරිතය සින්ඩරෙල්ලා නෙමෙයි එල්විරා. මේ එල්විරා, ඇග්නස් ( සින්ඩරෙල්ලා ) වගේ රූමත් නෑ. කැතයි, මහතයි. තම රූමත් සුලු සහෝදරිය සමග කුමාරයා දිනාගැනීමේ සටනට අවතීර්ණ වන එල්විරා, ලස්සන වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. දැන් තියෙන රූපලාවණ්‍ය ක්‍රම නෙමේ. නොදියුණු ඒවා. ඇය සෑහෙන්න ශරීරයට දුක් දෙනවා. ඇත්තටම ඒවා මට පවා බලන්න අපහසු වුනා. අරුම පුදුම ක්‍රම. ඒත් අල්විරා අත හරින්නෑ. ඇයට කුමාරයා ගැන තියෙන්නෙ ඒ තරම් පිස්සුවක්. ඒ වුනත් ඒ ගොඩක් දේවල් වෙන්නෙ ඇයගෙ අම්මගෙ උවමනාවට. ඒ විවාහයෙන් පවුල ගොඩ යන එකයි ඇගේ අරමුණ. අමතර වශයෙන් කියන්න ඕනෙ, වර්තමානයේත් අනන්තවත් ඉන්නවා ලස්සන වෙන්න කියලා, තම ජීවිතයට හානිකර දේවල් කරගන්නා තරුණියන්, කාන්තාවන්. එයාලට මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් ලබාදෙනවා. ඒ නිසා අතනොහැර බලන්න කියා මතක් කරනවා. සින්ඩරෙල්ලා කතාව බිහිවුනු දා ඉඳන් මේ දක්වා මිනිස්සු කොච්චර නම් එල්විරාලට වෛර කරන්න ඇද්ද? මේ චිත්‍රපටය බැලුවට පස්සෙ එල්විරා වෙනුවෙන්, ඊටත් වඩාවූ දයානුකම්පාවකින්, ඔයාලගෙ හිත් බරවෙන බවට කැට තියමින් මම නවතිනවා.
හැබැයි රජෝ, සුරංගනා කතාවක් කියලා පොඩි වුන් එක්කනම් බලන්න සෙට් වෙන්න එපා. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ආයෙ නොකිව්වා කියන්න එපා.
Share
Links
Comments
July 26, 2025












