ග්‍රේස්කල් බලයේ ආනුභාවයෙන්, මා සතුව බලය පවතී

80 ගණන්වල මෙහි මූලාරම්භය පටන් ගත්තත්, බහුතරයකගේ ළමා කාලය පාට කරපු He-Man and the Masters of the Universe කාටූන් එක මතකද? “By the power of Grayskull… I have the power!” එහෙමත් නැත්තම් ” ග්‍රහ මන්දිරේ ආනුභාවයෙන්… මා හට බලය ලබාදෙනු මැනවී ” කියන දෙබස ඇහෙද්දීම අදටත් ඇඟ කිලිපොලා යනවා. මං හිතන්නෙ ඉංග්‍රීසි දෙබස නැතත් සිංහල දෙබස නං අනිවාරෙන්ම අහම්බෙන් හරි ඕනම කෙනෙක්ගෙ කන වැගිලා තියෙන්නෙම ඕනෙ දෙබසක්. ඉතිං ඔන්න ඔය නොස්ටැල්ජියාව ආයෙමත් සිනමා තිරයට ගෙනාපු, හැමෝම බලාගෙන හිටපු ලයිව් ඇක්ෂන් “Masters of the Universe” චිත්‍රපටිය තමයි අද මං මෙහෙම ඔයාලට අරගෙන එන්නෙ. මේකත් මං එනකල්ම මඟ බලන් හිටපු ලයිව් ඇක්ෂන් මූවි එකක්.
මුලින්ම අපි බලලා ඉමු මේ චිත්‍රපටියේ, නළු නිළි කැල සහ බජට් එක වගේ දේවල් කොහොමද කියලා.
Amazon MGM Studios සහ Mattel Films එකතු වෙලා තමයි මේ දැවැන්ත සිනමා පටය නිෂ්පාදනය කරන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ Bumblebee සහ Kubo and the Two Strings වගේ සුපිරි ෆිල්ම් කරපු Travis Knight විසින්. චිත්‍රපටයේ ඉන්න නළු නිළි කැල කවුද කියලා බැලුවොත්,
* Prince Adam / He-Man: ප්‍රධාන චරිතයට පණ පොවන්නේ The Idea of You සහ Red, White & Royal Blue එකෙන් ප්‍රසිද්ධ වුණු තරුණ නළු Nicholas Galitzine විසින්. මේ රෝල් එක වෙනුවෙන් පොර මාර කට්ටක් කාලා ඇඟ හදාගෙන තියෙනවා. ඒක අපිට නිකුත් වුණු trailers සහ රූගත කිරීම් අවස්ථාවල leaked images වලින් බලාගන්න ලැබුණා.
* Skeletor: ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය කරන්නේ ඔස්කාර් සම්මානලාභී Jared Leto විසින්. * Teela: Riverdale එකෙන් ජනප්‍රිය වුණු Camila Mendes විසින්. * Duncan / Man-At-Arms: ප්‍රසිද්ධ නළු Idris Elba විසින්. * Evil-Lyn: ඇලිසන් බ්‍රී විසින්. * Sorceress: Morena Baccarin විසින්. * Roboto (Voice): Kristen Wiig විසින්.
ප්‍රධානම අය විදිහට අපිට ඒ කැරැක්ටස් ටික තමයි බලාගන්න ලැබෙන්නෙ. ඉතිං මේ ෆිල්ම් එක වෙනුවෙන් ඇමසන් සමාගම ඩොලර් මිලියන 170 ත් 200 ත් අතර දැවැන්ත බජට් එකක් වෙන් කරලා තියෙනවා. VFX, සටන් ජවනිකා සහ සෙට්ස් අතිශය ඉහළ මට්ටමක අපිට චිත්‍රපටය තුළ අපිට බලාගන්න පුළුවන් වෙනවා.
ප්‍රධාන චරිත, ඔවුන්ගේ බලයන් සහ පරණ කාටූන් එක සමඟ සැසඳීම කොයි වගේද කියලා පහලින් බලාගන්න පුළුවන්. මං එක එක කැරැක්ටස් පින්තූරත් එක්කම දාන්නම් ඔයාලට බලාගන්නත් එක්ක.
මේ 2026 ෆිල්ම් එකේ කතාව පැරණි කාටූන් එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනස් විදිහකටයි ගලාගෙන යන්නේ. කතාව පටන් ගන්නේ අවුරුදු 10 දී පෘථිවියට කඩා වැටිලා තමන්ගේ මායා කඩුව (Sword of Power) අහිමි කරගන්න Prince Adam ගෙන්. පස්සේ අවුරුදු 15 කට විතර පස්සේ කඩුව හම්බවෙලා එයා ආයෙත් තමන්ගේ උපන් ග්‍රහලෝකය වෙන “Eternia” වලට යද්දී ඒක ස්කෙලටෝර් අල්ලගෙන විනාශ කරලයි තියෙන්නේ.
He-Man (Prince Adam / Adam Glenn)
ඇඩම් කුමාරයා කියන්නෙ Eternia රාජධානියේ රජතුමා සහ රැජින වෙන Randor සහ Marlena ගේ පුතා. හැබැයි පෘථිවියේ හැදී වැඩෙද්දී මිනිහා හිතන් ඉන්නේ තමන් සාමාන්‍ය කෝපරේට් ජොබ් එකක් කරන “Adam Glenn” කෙනෙක් කියලා. මොහුට තියෙන බලයන් මොනවද කියලා බැලුවොත්, “Sword of Power” (මායා කඩුව) අතට අරන් Grayskull බලකොටුවේ බලයෙන් පරිවර්තනය වුණාම විශ්වයේ ඉන්න බලවත්ම මිනිසා බවට පත්වෙනවා. Superhuman strength එක, වේගය සහ නොබිඳෙන සුලු දරාගැනීමේ හැකියාව මොහුට ලැබෙනවා. නමුත් පරණ කාටූන් එකේ ඇඩම් හැම තිස්සෙම Eternia වල මාලිගාවේ ඉඳන් හොරෙන් හීමෑන් බවට පත් වුණාට, මේ ෆිල්ම් එකේ එයා පෘථිවියේ ඉඳන් තමන්ගේ අතීතය හොයාගෙන යන “Outsider” කෙනෙක් විදිහටයි බලාගන්න ලැබෙන්නෙ.
Skeletor
මේ ස්කෙලටෝර් කියන්නෙ Eternia රාජධානිය තමන්ගේ යටතට ගත්තු, මුහුණ විකෘති වුණු ඉතාමත් බලගතු මායාකාරයෙක් සහ රණශූරයෙක්ට. ඒවගේම තමයි හීමෑන්ගේ ප්‍රධානතම සතුරා විදිහටත් සලකන්න පුළුවන්. මොහුට තියෙන බලයන් මොනවද කියලා බැලුවොත්, ස්කෙලටෝර් ට අඳුරු මායාවන් එහෙමත් නැත්තම් Black Magic, Energy Blasts කරන්න පුළුවන් වගේම මනසින් මිනිස්සුන්ව පාලනය කිරීමේ වගේ හැකියාවන් තියෙනවා. Grayskull බලකොටුවේ රහස් සහ බලය තමන් සතු කරගන්න තමයි නිතරම මොහු උත්සාහ කරන්නේ. 80 ගණන්වල කාටූන් එකේ ස්කෙලටෝර් වගේම ජැරඩ් ලෙටෝ රඟපාන මේ ලයිව් ඇක්ෂන් ස්කෙලටෝරුත් පොඩ්ඩක් විහිළු සපයන, මුළු ග්‍රහලෝකයක්ම තමන්ගේ යටතට ගත්තු ඉතාමත් කෲර දුෂ්ට මායාකරුවෙක්.
ටීලා කියන්නෙ Eternia මාලිගාවේ ආරක්ෂක අංශයේ කැප්ටන්. තව විදිහකට කියනවා නං මැන්-ඇට්-ආම්ස්ගේ හදාගත්තු දියණිය වගේම ඇයගේ ඇත්ත මව වෙන්නේ Grayskull හි Sorceress. මැය අසමසම සටන්කාමි වරියක් සහ උපක්‍රමශීලී නායිකාවක්. කඩුවලින් සහ විවිධ ආයුධවලින් සටන් කරන්න උපන්හපනි. චිත්‍රපටයේ හැටියට ඇඩම්ගේ ප්‍රධානතම සහකාරිය සහ පෙම්වතිය වෙන්නෙත් ටීලාම තමයි. පරණ කාටූන් එකේ වගේම මෙතනත් ඇය ඇඩම්ව ආරක්ෂා කරන, සටන් බිමේ පෙරමුණ ගන්නා නිර්භීත චරිතයක් විදිහටම අපිට බලාගන්න ලැබෙනවා චිත්‍රපටයෙනුත්.
Duncan / Man-At-Arms
Duncan නොහොත් Man-At-Arms කියන්නෙ Randor රජතුමාගේ විශ්වාසවන්තම ජෙනරාල්වරයා වගේම Eternia වල ඉන්න ප්‍රධානතම විද්‍යාඥයා සහ ආයුධ නිපදවන්නා. මොහුට මැජික් බලයන් නැතත්, මොහු හදන අධි-තාක්ෂණික ආයුධ, ආරක්ෂිත සන්නාහ සහ යුද උපක්‍රම නිසා හීමෑන්ගේ කණ්ඩායමේ ඉන්න වටිනාම සාමාජිකයෙක් කියලා ඩන්කන්ව හඳුන්වන්න පුළුවන්. කාටූන් එකේ වගේම මොහු හීමෑන්ට සහ ටීලාට පියෙක් වගේ උපදෙස් දෙන, තාක්ෂණය පැත්තෙන් උදව් කරන බුද්ධිමත් චරිතය විදිහට අපිට බලාගන්න ලැබෙනවා.
Evil-Lyn
ඊවිල්-ලින් කියන්නෙ ස්කෙලටෝර්ගේ දකුණු අත වගේ ඉන්න බොහොම කපටි මායාකාරියක්. මැයට මායා බලයෙන් විවිධ වෙස් පෙරලීම් කරන්න වගේ දේවල් පුළුවන්. ෆිල්ම් එකේ හැටියට පෘථිවියේදී ඇය ඇඩම්ගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් (Evelyn Powers) විදිහට වෙස්වලාගෙන ඉන්නවා චිත්‍රපටයේදී බලාගන්න පුළුවන්. කාටූන් එකේ සාමාන්‍ය මායාකාරියක් වුණාට, පෘථිවියට ඇවිත් ඇඩම්ව රවට්ටගෙන පස්සේ Eternia වලට ද්‍රෝහි වෙන විදිහට මේ ෆිල්ම් එකේ ඇයගේ චරිතය වඩාත් සංකීර්ණ කරලා තියෙන්නෙ චරිතයට හානියක් නොවෙන්න බොහොම අපූරුවට.
Battle Cat!
බැට්ල් කැට්ට චරිත දෙකක් තියෙනවා. එකක් ක්‍රින්ජර් ඇඩම් කුමාරයගේ සුරතලා විදිහට ඉන්නැද්දි සිටින කාටූන් එකේ වගේම ඇඩම්ගේ බයගුලු බළලා “Cringer”, අනිත් කෙනා තමයි කඩුවේ බලයෙන් Battle Cat කියන බියකරු අපූරු සන්නාහයකින් සන්නද්ධ කොටියා. කාටූන් එක බලලා තියෙන කෙනෙක් නං අනිවාරෙන්ම ඒක මතක ඇතිනේ. අන්න ඒ පරිවර්තනය සහ සටන් ජවනිකාත් මේ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකේ අපිට නොඅඩුව බලාගන්න ලැබෙනවා.
මීට වඩා චරිතයන් කීපයක්ම චිත්‍රපටය තුළ අන්තර්ගත වෙනවා, නමුත් මං මෙතනදි සඳහන් කරලා තියෙන්නෙ ප්‍රධානම වශයෙන් කියලා අපිට සැලකිය හැකි චරිතය කිහිපයව. ඒ වගේම මතක් කරන්න ඕනෙ චිත්‍රපටයේ අවසානයේ ක්‍රෙඩිට් දර්ශන එහෙම නැත්තම් පසු දර්ශන දෙකක්ම ඇතුලත් වෙනවා. අනිවාරෙන්ම ඒකත් බලන්න මතක් කරනවා. ඉතිං ලිපියෙන් ගෙනාපු විස්තර ටික මේ ෆ්‍රැන්චයිස් එක අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මං කරුණු සඳහන් කළේ. ඉතිං මේ හීමෑන් කාටුන් එක කලින් නොබලපු වුණත් මේ චිත්‍රපටය කිසි ප්‍රශ්නයක් නැතුවම රස විඳින්න පුළුවන්.

Comments