අවසන් නයිට්වරයා

පිටසක්වල ජීවින් ගැන අපේ සිත් තුළ වූ බියකරු අප්‍රියජනක හැගීම් පසෙකට විසි කරලමින් 2007 වර්ෂයේ මයිකල් බේ නම් අද්විතීය අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් සිය ගමන ආරම්භ කළ TRANSFORMERS සිනමාපට මේ වන විට ලොව පුරා ලොකු කුඩා සිනමා රසික සැමගේ සිත් සතන් තුළ විශේෂ ස්ථානයක් දිනා ඇති බව නොරහසක්.ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ පස්වැනි ආගමනය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 604.1ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති අතර IMDB දර්ශකයේ 5.3ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙවරත් MARK WAHLBERG කේඩ් යේගර්ගේ චරිතයට පණ පොවනවා.සෙසු චරිත සදහා Laura Haddock විවියන් ලෙසත්, Josh Duhamel කර්නල් ලෙනොක්ස් ලෙසත්, Isabela Moner ඉසබෙලා ලෙසත්, Anthony Hopkins සර් එඩ්මන්ඩ් බර්ටන්ගේ චරිතයත් නිරුපනය කරනවා…
පෘථිවිය ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට තහනම් කරලා. මිනිසුන් විසින් ට්‍රාන්ස්ෆෝමර්වරුන්ව දඩයම් කිරීමක් සිද්ධ කරගෙන යනවා.ඒ සදහා වෙනම හමුදා බලකායක්ද පිහිටුවලා තියෙන්නේ. ඔප්ටිමස් ප්‍රයිම් පෘථිවියෙන් යන්න ගිහින් තමන්ගේ නිර්මාපකයන්ව හොයාගෙන. ඔය අතර කේඩ් යේගර් බම්බල් බී සමගින් එකතුවෙලා ට්‍රාන්ස්ෆෝමර්වරුන්ගේ ජිවිත බේරගන්නවා. මෙවර කතාව දිවෙන්නේ අතීත සිදුවීමක් සම්බන්ධ කරගෙන. එනම් අතීතයේදී ආතර් රජු සමයේ මායාකාර මර්ලින් හට ට්‍රාන්ස්ෆෝමර්වරු 12 දෙනෙකුගෙන් හිමි වෙනවා යම් බලගතු යෂ්ටියක්. මේ යෂ්ටියේ රහස මර්ලින්ගේ මරණය සමග වැළලී යනවා. මේ යෂ්ටිය සොයාගැනීමට ඩිසෙප්ටිකොන්වරු ද මහත් පරිශ්‍රමයක් දරනවා.
තම නිර්මාපකයාව සොයාගෙන යන ඔප්ටිමස් ප්‍රයිම්ට දැනගන්න ලැබෙනවා සිය නිර්මාපකයා ක්වින්ටෙසා නම් දුෂ්ට දෙවගනක් වග.ඇය පවසන ආකාරයට පෘථිවියට තවත් නමක් තිබෙනවා. ඒ නම තමයි යුනික්‍රෝන්. ඉතින් පේන විදිහටනම් මේ යුනික්‍රෝන් කියන්නේ සයිබර්ට්‍රෝන්වල පරම හතුරා කියලා තමයි හදුන්වන්නේ. ඇයගේ අභිප්‍රාය යෂ්ටිය ලබාගෙන පෘථිවියේ ජිවය විනාශ කොට සයිබර්ට්‍රෝන් ග්‍රහයාට යළි ජිවය ලබාදීමයි. ඉතින් මේ යෂ්ටිය තියෙන සෙවීමේ ගමනට දෛවෝපගත සිදුවීමකින් මෙන් කේඩ් යේගර්ව සම්බන්ධ වෙනවා. ඔහුට එය සොයාගැනීමට එංගලන්ත ප්‍රභූවරයෙකු සහ ඔක්ස්ෆෝඩ් මහාචාර්යවරියක් සහය වනවා.එහෙමනම් අපි සිනමාපටය නරඹලාම දැනගමු ඔප්ටිමස් ප්‍රයිම් ප්‍රමුඛ ඔටෝබොට්වරුන්ට සහ මානව වර්ගයාට ක්වින්ටෙසාට සහ මෙගාට්‍රෝන් සමගින් සටන් කර පෘථිවියේ විනාශය නවතාලිය හැකි වේවිදැයි කියලා.

Comments