මහා ධනවතාගේ අවසන් රහස...

ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ ලෝක සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු, සිනමාවට ආදරය කරන කෙනෙක් තමන්ගේ ජීවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන්ම බලන්නම ඕන අමරණීය ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක්.
​කතාවේ නම තමයි Citizen Kane (1941). Orson Welles ගේ අධ්‍යක්ෂණයක් වගේම ඔහුම ප්‍රධාන රංගනයෙන් දායක වෙන මේ සිනමා සිත්තම, දශක ගණනාවක් තිස්සේ ලෝකයේ හොඳම චිත්‍රපට විචාරක ලැයිස්තුවල පළවෙනි තැන නොකඩවා දිනාගත්ත අග්‍රගණ්‍ය නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන්. Drama / Mystery ගණයට අයත් මේ චිත්‍රපටය අදටත් ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපටය විදිහට බොහෝ දෙනෙක් හඳුන්වනවා.
චිත්‍රපටය පටන් ගන්නේ ඇමරිකාවේ හිටපු දැවැන්තම මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක් වගේම අතිශය ධනවත් පුද්ගලයෙක් වෙන චාල්ස් ෆොස්ටර් කේන්ගේ මරණයත් එක්ක. එයා මැරෙන මොහොතේ කියන අවසාන වචනය තමයි “Rosebud” (රෝස්බඩ්) කියන්නේ. මුළු රටක්ම කතා වෙන මේ මහා ධනවතාගේ අවසාන වචනයේ තේරුම මොකක්ද? මේක හොයාගෙන යන මාධ්‍යවේදියෙක් වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
​මේ මාධ්‍යවේදියා කේන්ගේ පරණ යාළුවන්ව, වැඩ කරපු අයව හොයාගෙන යන ගමනේදී කේන් කියන්නේ ඇත්තටම කවුද, එයා කොහොමද ඒ තරම් බලවත් වුණේ, ඒ වගේම අන්තිමට එයාට ඉතුරු වුණේ මොනවද කියන එක අපිට දැනගන්න ලැබෙනවා. සල්ලි, බලය සහ කීර්තිය තිබුණත් මනුස්සයෙක්ගේ ඇතුළාන්තයේ තියෙන හිස්කම සහ තනිකම මේ කතාවෙන් හරිම අපූරුවට වගේම කුතුහලයෙන් යුතුව පෙන්නුම් කරනවා.

Comments