බලය සහ දරුවෙක්ගේ ජීවිතය

ඔයාලා Crime Thriller (අපරාධ සහ කුතුහලය පිරුණු) ෆිල්ම් බලන්න කැමති නම්, 2026 දී ආපු “Animals” කියන්නේ අනිවාර්යයෙන්ම කතා බහට ලක්වෙන ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපි කවුරුත් දන්න සුපිරි නළු Ben Affleck විසින්මයි. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් එයාමයි. එයා එක්ක Kerry Washington, Gillian Anderson සහ Steven Yeun වගේ දක්ෂ නළු නිළියන් පිරිසක් මේකට එකතු වෙලා ඉන්නවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න Ben Affleck එක්ක එයාගේ හොඳම යාළුවා වෙන Matt Damon සහ තවත් පිරිසක් එකතු වෙලා තියෙනවා.
කතාව ගෙතෙන්නේ ලොස් ඇන්ජලීස් (Los Angeles) නගරාධිපති ඡන්දෙට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉල්ලන මාර්ක් කිම්බෝල් (Mark Kimball) වටායි. ඡන්දේ අන්තිම දවස් කිහිපයේදී මාර්ක් පොඩි පරතරයකින් පරදින ලකුණු පේන්න තියෙනවා. ඉතින් එයාගේ ඡන්ද ව්‍යාපාරයේ කළමනාකරු වෙන සෑම් (Sam) කියන නිසා, මාර්ක් තමන් ජීවිත කාලෙම ඉතුරු කරපු සේසතම මේ ඡන්ද වැඩේට යොදවනවා, දිනුවට පස්සේ ඒ සල්ලි ආයේ හොයාගන්න පුළුවන් කියලා හිතාගෙන. හැබැයි එයා මේ තීරණය ගන්නේ තමන්ගේ බිරිඳ වෙන ඇබිගේල්ගෙන් (Abigail) අහන්නෙවත් නැතුවයි. මේ අතරේ ඇබිගේල් මාර්ක්ගෙන් ඈත් වෙලා, රොන් (Ron) කියන කෙනෙක් එක්ක රහස් සම්බන්ධයක් පටන් අරන්, ඡන්දෙන් පස්සේ දික්කසාද වෙන්නයි හිතාගෙන ඉන්නේ.
ඔය අතරේ හැලොවීන් (Halloween) දවසේ මාර්ක්ගේ සහ ඇබිගේල්ගේ පුතා වෙන ඩෙනී (Denny), ගෙදර වැඩට ඉන්න සිසිලියා (Cecilia) එක්ක එළියට යනවා. රෑ වෙද්දී කවුදෝ නාඳුනන කෙනෙක් සිසිලියා දිහා බලාගෙන ඉන්න අතරේ, එකපාරටම පොඩි ළමයව අතුරුදහන් වෙනවා.
ඊටපස්සේ මාර්ක්ගේ ගෙදරට නිර්නාමික දුරකථන ඇමතුමක් එනවා. පැහැරගත්ත කෙනා ඩෙනීගේ ෆොටෝ එකකුත් එවලා, මධ්‍යම රාත්‍රියට කලින් ඩොලර් මිලියන 7ක කප්පම් මුදලක් ඉල්ලනවා. පොලිසියට කිව්වොත් ළමයව මරනවා කියලත් තර්ජනය කරනවා. වැඩේ කියන්නේ මාර්ක් තමන්ගේ සේරම සල්ලි ඡන්දෙට දාලා ඉවරයි, අනික සල්ලි තිබුණත් මේ වගේ පොඩි වෙලාවකින් එච්චර ගාණක් හොයාගන්නත් බෑ. මේ අසරණ වෙලාවේ සෑම් යෝජනා කරනවා මේ කප්පම් ප්‍රශ්නේ විසඳන්න “Dayle” කියන විශේෂ පුද්ගලයෙක්ව වැඩේට ගමු කියලා.
ඉතින් සල්ලිත් නැතුව, පොලිසියට කියන්නත් බැරුව මාර්ක් සහ ඇබිගේල් තමන්ගේ පුතාව බේරගන්න මොන වගේ ගේමක් ගහයිද? කුතුහලයෙන් බලන්න පුළුවන් හොඳ කතාවක් මේකේ තියෙනවා.

Comments