Cast
Go Full Cast Pageරූපවාහීනියෙන් පැමිණෙන බිහිසුණු රාක්ෂයා
මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම චිත්රපටි රසිකයෝ කවුද කියලා ඇහුවොත් මමනම් කියන්නේ ඒ හොරර් ෆිල්ම් රසිකයෝ කියලා. මොකද වසරකට විවිධ ශානරයන්ට අයත් අති දැවන්ත සිනමාපට කොච්චර ආවත් හොරර් ශානරය පැත්තෙන් ගුණාත්මක නිර්මාණ එන්නෙ ඉතාම අඩුවෙන්. කොච්චර ෆිල්ම් ආවත් ඒ හැමදේම එකම අච්චුවේ සාම්ප්රදායික අවසානය කලින්ම හිතාගන්න පුළුවන් ජාතීයේ ඒවා.
අන්න ඒ ඉඩෝරය නිමා කරමින් උදාවුන 2026 අවුරුද්ද නම් හොරර් ෆිල්ම් පිස්සන්ට ඉතාම හොඳ අවුරුද්දක් කියලා කටපුරා කියන්න පුළුවන්. Obsession, Hokum, Backrooms, Evil Dead: Burn, Insidious: Out of the Further, Resident Evil වගේ සුපිරි නිර්මාණ නිකුත් උනා වගේම Werwulf සහ Other Mommy වගේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් ෆිල්ම් කීපයකුත් මේ අවුරුද්දේ නිකුත් වෙන්න තියෙනවා. ඉතිං මේ සාම්ප්රදායික අච්චුවෙන් මිදිලා වෙනස්ම ආකාරයේ කතා තේමාවක් ගත්ත තවත් මරු වැඩක් තමයි ‘Buddy’ කියන්නේ.
ඔයාලා Barney & Friends, Sesame Street වගේ කුඩා ළමයින්ට වෙන්වුන රූපවාහිනී වැඩසටහන් දැකලා තියෙනවා නේද. “It’s Buddy!” කියන්නෙත් අන්න ඒ වගේ 90 දශකයේ ළමා රූපවාහීනි වැඩසටහනක්. හරිම ප්රීතිමත් තැඹිලි පාට යුනිකෝන් කෙනෙක් වෙන බඩී තමයි මේ වැඩසටහන කරන්නේ. එයා එක්ක ෆ්රෙඩී, වේඩ්, හැනා, ජොෂ් කියලා ළමයි කීප දෙනෙකුත් තවත් චරිත කීපයකුත් ඉන්නවා. මුලින් මුලින් බඩී ළමයින්ට සතුට වගේම යහපත් පාඩම් කියලා දෙන ආදරණීය රූපවාහීනි චරිතයක් විදියට තමයි පෙනී ඉන්නේ. හැබැයි වැඩසටහනේ ඉන්න එක ළමයෙක් බඩී කියන දෙයක් තදින්ම ප්රතික්ෂේප කලාට පස්සේ ඇත්තටම බඩී මොනවගේ කෙනෙක්ද කියන එක සහ ඒ ලස්සන ලෝකේ තියෙන භයානක රහස් එකින් එක එළියට එන්න පටන් ගන්නවා. ඉතිං ඇත්තටම මේ බඩී කියන්නේ කවුද? ෆ්රෙඩී ඇතුළු ළමයි ටිකට මේ භයානක රූපවාහිනී ලෝකයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?
මේ වෙද්දි 7.1ක ඉතා හොඳ IMDb අගයක් සහ 88%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන Buddy ෆිල්ම් එක ඉතාම හොඳ විචාරක වගේම ප්රේක්ෂක ප්රතිචාර ලබාගෙන තියෙනවා. අගෝස්තු 28 සිනමාශාලා වලට නිකුත් උන මේ ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනෙත් අද බවත් ඔයාලට මතක් කරන්න ඕන. ඇ.ඩො. මිලියන 3ක් වැනි පොඩි බජට් එකකින් නිර්මාණය උන මේ ෆිල්ම් එක දැන් වෙද්දි ඇ.ඩො. මිලියට 27කට වඩා ආදායමක් හොයලා දැවන්ත ලාභයක් අත්පත් කරගෙන මේ වසරේ නිකුත් උන තවත් සාර්ථකම හොරර් චිත්රපටයක් විදියට කිරුළු පලඳලා තියෙනවා. ආරංචි උන විදියට ගොඩක් දෙමව්පියෝ මේක ළමා චිත්රපටයක් කියලා වැරදියට තේරුම් අරගෙන තමන්ගේ දරුවෝ එක්කගෙන මේ ෆිල්ම් එක බලන්න ගිහින් මඟදි හැරිලා ඇවිත් තියෙනවලු.











