හදවතේ රැඳුණු මතක

ආයුබෝවන් ඔයාලා හැමෝටම
අද අපි අරගෙන ආවේ ආදරය, වියෝව සහ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න කැමති අය වෙනුවෙන්ම වෙන්වුණු, මේ දිනවල කතාබහට ලක්වන අපූරු සිනමා නිර්මාණයක්..
“Love of Your Life” කියන්නේ ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී (TIFF) තිරගත වී මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනාගත්, Rachel Morrison ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු අළුත්ම චිත්‍රපටිය. ආදරය, හදිසි ව්‍යසනයක් සහ ඉන් පසු ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන කාන්තාවකගේ සංවේදී ගමනක් මේ චිත්‍රපටිය තුළින් අපූරුවට මතු කර දක්වනවා.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට, එනම් මායා නම් හදිසි අනතුරු අංශයේ (ER) හෙදියගේ චරිතයට පණ පොවන්නේ Margaret Qualley. ඇයගේ රංගනය ගැන නම් නොකියාම බැහැ. ඇය සමඟින් චාලිගේ චරිතයට පණ පොවන Gabriel Basso ගේ රංගනයත්, චාලිගේ මව ලෙස රඟපාන ප්‍රවීණ නිළි Catherine Keener ගේ අපූරු රංගන දායකත්වයත් චිත්‍රපටියට එකතු කරන්නේ විශාල වටිනාකමක්. ඒ වගේම Aaron Pierre සහ Patrick Schwarzenegger වැනි දක්ෂ නළුවන්ගේ රංගනයත් මේ චිත්‍රපටිය තවත් ඔප්නංවන්න සමත් වෙලා තියෙනවා.
කතාව මෙහෙමයි.. මායා කියන්නේ හදිසි අනතුරු අංශයේ කැපවීමෙන් වැඩ කරන හෙදියක්. ඇය චාලි කියන තරුණයා මුණගැහෙන්නේ හරිම අපූරු විදිහකට. කාලයක් යද්දී ඔවුන්ගේ ආදරය තවත් පුළුල් වෙන්නේ හොඳ මිතුරන් සහ පවුලේ අයත් එක්ක සතුටින් පිරි ජීවිතයක් ගත කරමින්. හැබැයි කොවිඩ් වසංගතය ලෝකයට එනවත් එක්කම ඔවුන්ගේ ජීවිතවලට ඒක මාරාන්තික පහරක් වෙනවා. මායා රෝහලේදී දැඩි පරිශ්‍රමයෙන් වැඩ කරමින් සිටියදී වෛරසය ගෙදර රැගෙන එන අතර, ඇදුම රෝගයෙන් පෙළුණු චාලිට එයින් බේරෙන්න ලැබෙන්නේ නැහැ.
චාලිගේ අභාවයෙන් පසු මුළුමනින්ම බිඳී යන මායා, තම මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ඈත් වෙලා, තමන් සහ චාලි එකට යන්න හීන මැවූ විවිධ රටවල සංචාරය කරන්න පටන් ගන්නවා. පෘතුගාලයේදී ඇයට ෆීලික්ස් (Aaron Pierre) මුණගැහෙන්නේ මේ ගමන අතරතුරදීයි.
ආදරය නැතිවුණු තැනක ජීවිතය ආයෙමත් පටන් ගන්න මායාට පුළුවන් වෙයිද? ඇයගේ මේ සංචාරයේ අවසානය කොහොම වෙයිද?
මේ හැමදේටම උත්තර දැනගන්න නම් මේ සංවේදී සිනමා නිර්මාණය බලන්නම වෙනවා. ආදරයේ ගැඹුර වගේම ජීවිතයේ යථාර්ථය හදවතට දැනෙන්න නරඹන්න කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments