කොටියාගේ ආගමනය

ජාවාරමක් පස්සේ පන්නපු පොලිස් නිලධාරියෙක් වුණු තමන්ගේ පුතා අතුරුදහන් වුණාට පස්සේ, විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියෙක් ඒ පුතාව හොයාගෙන පාතාලයට බැහැලා වර්මන් කියන දරුණු ජාවාරම්කාරයාගෙන් පළිගන්න එක තමයි පළවෙනි කොටසේ කතාව විදිහට ගියේ. ඒක ගොඩක් දුක්ඛදායක විදිහට වගේම, ඉස්සරහට මොකද වෙන්නේ කියලා කුතුහලයක් ඉතුරු කරලා විවෘත අවසානයකින් ඉවර වුණු නිසා තමයි මේ විදිහට දෙවෙනි කොටසකට පාර කැපුණේ. පළවෙනි චිත්‍රපටියේ අන්තිම හරියේදී කවුරුවත් බලාපොරොත්තු නොවුණු විදිහට ශිවරාජ්කුමාර්ගේ චරිතය ගෙදරට එන එකෙන් ඒකේ අවසානය තවත් උත්කර්ෂවත් වුණා. දෙවෙනි කොටසට පදනම් වෙන්නේ පළවෙනි එකේදි වර්මා රජිනිට කියපු “මගේ පස්සෙන් ලෝකයක්ම තියෙනවා, ඔයාගේ ලෝකයම නරකාදියක් වේවි!” කියන දෙබසයි, කෝටි දහස් ගාණක් වටින කන්ටේනර් තුන ගැනයි ඇති වුණු කුතුහලයයි.
මේ කතාවේ රජිනිකාන්ත්ගේ රංගනය ගැන කිව්වොත්, ජේලර් කියන්නේ එයාගේ සිනමා ජීවිතේ ලොකු කඩඉමක්. කලින් වගේ තමන්ගේ වයසට නොගැලපෙන චරිත කරන්නේ නැතුව එයා මේකට ගැලපෙනම චරිතයක් තෝරගෙන තියෙනවා. හැබැයි අධ්‍යක්ෂක නෙල්සන් රජිනිගේ ඒ ආවේගශීලී රංගනයෙන් 5%ක්වත් ප්‍රයෝජනයට අරන් නැහැ කියලා තමයි කියන්නේ. රූගත කිරීම් අතරතුර රජිනි එයාට එන අදහස් මුලින්ම කියන්නේ එස්.ජේ. සූර්යාට. ඒ නෙල්සන් ඒවා ප්‍රතික්ෂේප කරයි කියලා දන්න නිසා “මම දන්නවා කැමති වෙන්නේ නෑ කියලා, සූර්යා” කියලා රජිනි විහිළුත් කරනවා. “රංගනයේ යක්ෂයා” කියලා හඳුන්වන එස්.ජේ. සූර්යා තමන්ගේ රංගනය ගැන සෑහීමකට පත් වුණේ නැත්නම් ආයෙත් අවස්ථාවක් ඉල්ලගෙන රඟපාන, වෙහෙසක් නොදැනෙන කැපවීමක් තියෙන නළුවෙක් විදිහට නෙල්සන්ගේ ප්‍රශංසාවටත් ලක්වෙලා තියෙනවා.
අනෙක් චරිත ගැන බැලුවොත්, පළවෙනි කොටසේ හිටපු වර්මන් එහෙමත් නැත්නම් විනායකන්, කකුල තුවාල වෙලා තියෙද්දිත් ඒ වේදනාව ගණන් ගන්නේ නැතුව චරිතයට උපරිම සාධාරණයක් කළා. දෙවෙනි කොටසේ දුෂ්ට චරිත විදිහට විද්‍යා බාලන් එක්ක මලයාලම් නළු සුරාජ් එකතු වෙනවා. දකුණු ඉන්දියාවේ අසුබ ලකුණක් කියලා මුලින් ප්‍රතික්ෂේප වුණු විද්‍යා බාලන් උතුරු ඉන්දියාවේ ජනප්‍රිය වෙලා තමයි මේකට එන්නේ. සුරාජ් ගොඩක් උනන්දුවෙන් මහන්සි වෙලා දෙබස් පාඩම් කරගෙන ආවත් නෙල්සන් පහුවදාම දෙබස් ඔක්කොම වෙනස් කරලා එයාගේ මහන්සිය වතුරේ යවලා තියෙනවා. ඒ වගේම නන්දමුරි බාලක්‍රිෂ්ණා වෙනුවෙන්ම ලියපු විශේෂ චරිතයකට එයා මුලින් ලොකු ගාණකට කැමති වෙලා රූගත කිරීම් වලටත් ආවත්, පස්සේ ගාස්තු සහ අදහස් නොගැලපීම් නිසා ඉවත්වෙලා ගියා.
අවුරුදු 40කට පස්සේ රිතික් රෝෂන් රජිනි එක්ක ආයෙමත් විශේෂ චරිතයකින් තිරයට එනවා. මිතුන් චක්‍රබෝර්ති මුලින් රජිනිගෙන් ගුටි කන්න අකමැති වෙලා මේක ප්‍රතික්ෂේප කළත්, “මට ගහන්න, වෙඩි තියන්න බෑ” කියන කොන්දේසිය උඩ රජිනි එයාවත් මේකට එකතු කරගෙන තියෙනවා. විජේ සේදුපතිත් ආරාධිත චරිතයක් කරනවා, හැබැයි ධාවන කාලය කළමනාකරණය කරන්න එයාගේ දර්ශන කපලා දැම්මත් අන්තිම තත්පර කිහිපයේදී එයාව බලාගන්න පුළුවන්. සන්තානම්ගේ දර්ශන සම්පූර්ණයෙන්ම කපලා දාලා තියෙන අතරේ, කලින් කොටසේ දර්ශන කපපු නිසා අසාධාරණයක් වුණු නමෝ නාරායන්ට මේකේ වැඩි ඉඩක් දීලා තියෙනවා. ඒ වගේම “අල බෝලෙලේ” සින්දුවේ නටන පූර්ණා ගැබිනියක්ව ඉඳලත් රජිනිගේ ඉල්ලීමට එයාවම ඒකට සම්බන්ධ කරගෙන තියෙනවා.

Comments