අන්තර්ජාලය කියන්නේ අද වෙනකොට මිනිස්සුන්ට එක රැයින් ප්‍රසිද්ධ වෙන්න වගේම ලක්ෂ ගණනින් සල්ලි හොයන්න පුළුවන් තැනක්. හැබැයි ඒ ප්‍රසිද්ධිය සහ සල්ලි වෙනුවෙන් තමන්ගේ ජීවිතයම පරදුවට තියලා, හැමදාම ගුටි කන අසරණ කොල්ලෙක් චණ්ඩින් එක්ක වීදි සටන් කරන්න ගත්තොත් මොකද වෙන්නේ?

ලෝක ප්‍රසිද්ධ කොරියානු Webtoon එකක් ඇසුරෙන් 2026 ජූනි මාසයේදී Netflix හරහා නිකුත් වුණු “Viral Hit” (Kenka Dokugaku) සජීවී ක්‍රියාදාම (Live-Action) ජපන් කතා මාලාව අරගෙනයි අද මම ආවේ.

මොකක්ද මේ කතාව? (Plot)

කතාවේ වීරයා කෝටා ෂිමුරා. මිනිහා පාසලේ ඉන්න හැම මැරයෙකුගෙන්ම නිතරම වද හිංසා විඳින, ගුටි කන, අතිශය අසරණ දුප්පත් කොල්ලෙක්. ඒ මදිවට කෝටාගේ අම්මා ඉන්නේ දරුණු පිළිකා රෝගයකින් හොස්පිට්ල් එකේ ප්‍රතිකාර ලබමින්. ඇයට බෙහෙත් කරන්න කෝටාට විශාල මුදලක් අවශ්‍ය වෙනවා.

ඔහොම ඉන්නකොට දවසක් අහම්බෙන් කෝටා තවත් කෙනෙක් එක්ක රණ්ඩු වෙන වීඩියෝවක් නිව්ටියුබ් (NewTube) එකේ ලයිව් ස්ට්‍රීම් (Live Stream) වෙනවා. පුදුමයකට වගේ මේ රණ්ඩුව එක රැයින් වයිරල් හිට් (Viral Hit) එකක් වෙනවා විතරක් නරඹන්නන්ගෙන් විශාල වශයෙන් ඩොනේෂන්ස් සහ සුපර් චැට් මුදල් ගලාගෙන එන්න ගන්නවා.

තමන්ට සල්ලි හොයන්න තියෙන හොඳම ක්‍රමය මේක කියලා තේරුම් ගන්න කෝටා, එතැන් පටන් තමන්ගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබර් කවුන්ට් එක වැඩි කරගන්න අමුතුම වැඩක් පටන් ගන්නවා. ඒ තමයි තමන්ට හිරිහැර කරන චණ්ඩින්ට එකින් එකාට අභියෝග කරලා, ඒ සටන් සජීවීව විකාශය කරන එක!

හැබැයි හැමදාම ගුටි කාපු කෝටාට මේවා කරන්න ශක්තියක් ලැබෙන්නේ කොහොමද? එතනදී තමයි කතාවට සැම්ඩක් නැත්නම් චිකන් හෙඩ් කියන අභිරහස් පුද්ගලයා එකතු වෙන්නේ. ඔහු අන්තර්ජාලය හරහා කරන “රණ්ඩුවකින් දිනන්නේ කෙසේද” (How to Win a Fight) කියන රහසිගත වීඩියෝ මාලාව බලලා කෝටා සටන් පුහුණු වෙන්න ගන්නවා.

ටිකෙන් ටික කෝටාට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය මැරයන්ට විතරක් නෙවෙයි, ප්‍රෝ-රෙස්ලින් , ටයිකොන්ඩෝ , බොක්සිං වැනි විවිධ මාෂල් ආර්ට්ස් සටන් ක්‍රම ප්‍රගුණ කරපු දරුණු සටන්කරුවන්ටයි.

කොටස් 6කින් සමන්විත මේ කතා මාලාව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් සුපිරිම Action-Drama එකක්.
සාමාන්‍යයෙන් දකුණු කොරියාව මේ වගේ High School Fight Club ගණයේ කතාවලට දක්ෂ වුණත්, මේ ජපන් අනුවර්තනයත් වෙනස්ම හැඩයකින්, කුතුහලය සහ ආකර්ෂණීය සටන් ජාවාරම්වල අඳුරු පැත්ත ලස්සනට පෙන්වන්න සමත් වෙලා තියෙනවා.

පාසල් මට්ටමේ සිදුවන හිංසනයන්, සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රසිද්ධියේ ඇති භයානකකම වගේම, තමන්ගේ අම්මා වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන තරුණයෙකුගේ හැඟීම්බර සටන මේ කතාවේ මැනවින් නිරූපණය වෙනවා.

එහෙනම් තවත් බලාගෙන ඉන්නේ නැතුව, අසරණ කෝටා සටන් කරලා නිව්ටියුබ් තරුවක් වෙන්නේ කොහොමද කියලා සිංහල උපසිරසි සමඟින්ම නරඹන්න!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.

Comments