මායිමේ මිනිස්කම

තමන්ගේ පාඩුවේ හුදෙකලාව ජීවත් වෙන වයසක ගොවිපළ අයිතිකාරයෙක් ඉන්නවා. දවසක් එයාගේ ඉඩම හරහා හොරෙන් පැනලා යන තරුණ සංක්‍රමණික කෙල්ලෙකුට එයාගේ අතින් වැරදීමකින් වෙඩිල්ලක් වදිනවා. තමන් අතින් වුණු වැරැද්ද හදාගන්න හිතාගෙන, ඒ තුවාල වුණු කෙල්ලව තමන්ගේ ගෙදර හංගගෙන ප්‍රතිකාර කරන්න මේ මනුස්සයා තීරණය කරනවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ ඒක නෙමෙයි, මේ මනුස්සයාගේ පුතා වැඩ කරන්නේ ඇමරිකානු දේශසීමා ආරක්ෂක බලකායේ (Border Patrol). තමන්ගේම පුතා මේ සිද්ධිය ගැන හොයන්න ගත්තම, මේ වයසක තාත්තා ඇතුළේ ඇතිවන බය වගේම මානුෂීය හැඟීම් අතර ගැටුම මේ කතාව පුරාවටම නියමෙටම ගලාගෙන යනවා.
ලංකාවේ අපිටත් රට පැනලා යන සීන් අලුත් දේවල් නෙමෙයිනේ. ඉතාලි යන්න, ඕස්ට්‍රේලියා යන්න බෝට්ටුවල නැගලා, කැලෑ මැදින් ජීවිතේ පරදුවට තියලා යන මිනිස්සු ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. Broken Land බලද්දී මට මුලින්ම මතක් වුණේ ඒ වගේ කතා. ඇමරිකානු දේශසීමාව පැනලා එන මේ කෙල්ලගේ ඇස් වල තියෙන බය, අසරණකම දකිද්දී ඇත්තටම අපිට ලොකු කම්පනයක් දැනෙනවා. හොඳ ජීවිතයක් හොයාගෙන එන මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීම් මේ චිත්‍රපටියෙන් හරිම තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා.
මේ කතාවේ ඩේවිඩ් මෝර්ස් රඟපාන වයසක ගොවිපළ අයිතිකාරයාගේ චරිතය හරිම සංකීර්ණයි. වැරදීමකින් වෙඩි තියපු කෙල්ලව බේරගන්න එයා ඇතුළේ තියෙන මනුස්සකම වගේම, නීතිය ක්‍රියාත්මක කරන තමන්ගේම පුතාට අහුවෙයි කියන බය අතර එයා හිරවෙලා ඉන්නවා. නීතියද මනුස්සකමද කියන තැනට එද්දී මනුස්සයෙක් ඒ වෙලාවට කොච්චර අසරණද කියන එක මේකෙන් හොඳටම දැනෙනවා. චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ ලොකු ඇක්ෂන් සීන් නෙමෙයි, මිනිස්සුන්ගේ හැඟීම් එක්ක කරන ගේම් එකක්. කම්මැලි නැතුව හිතට වදින විදිහට කතාව ලස්සනට ගලපලා තියෙනවා.
ප්‍රධාන චරිතයට පණ පොවන ඩේවිඩ් මෝර්ස් ඔහු The Green Mile, 16 Blocks, World War Z වගේ අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටි රැසක කැපී පේන චරිත නිරූපණය කරපු ප්‍රවීණ නළුවෙක්.
නැහැ, මේක සම්පූර්ණයෙන්ම Action ෆිල්ම් එකක් නෙමෙයි. මේක Drama ගණයට වැටෙන, මිනිස්සුන්ගේ හැඟීම් සහ ප්‍රශ්න ගැන කතා කරන බොහොම සංවේදී චිත්‍රපටියක්.

Comments