Cast
Go Full Cast Pageකාලය සමඟ සටනක්
මෑත කාලේ පුරාවටම ඇක්ෂන් පිස්සන්ගේ ලොකුම වීරයා වුණේ ‘Alan Ritchson’ කිව්වොත් මං හිතන්නෙ ඒකෙ වැරැද්දක් නෑ. විශේෂයෙන්ම ලොව පුරා අතිවිශාල ප්රේක්ෂක පිරිසක් ආදරේ කරපු ‘Reacher’ කතා මාලාවේ හතරවෙනි සීසන් එකේ උද්වේගකර අවසානයත් එක්ක, ඊළඟට මොකක්ද බලන්නේ කියලා හිත හිත හිටපු ප්රේක්ෂකයින්ට නියම වෙලාවට ලැබුණු සුපිරිම තෑග්ගක් විදිහට මේ අලුත්ම Runner – 2026 චිත්රපටය හඳුන්වන්න පුළුවන්. Reacher S4 ඉවර වුණු ගමන්ම වගේ සිනමාහල් වලට නිකුත් වුණු මේ ෆිල්ම් එක, ආයෙමත් ඇලන් රිච්සන්ගේ යෝධ සිරුරෙන් කරන සුපිරි ඇක්ෂන් ටිකක් එක දිගට බලාගන්න කියාපු අවස්ථාවක්. Need for Speed, Expend4bles වගේ දැවැන්ත හොලිවුඩ් චිත්රපට අධ්යක්ෂණය කරපු Scott Waugh ගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ ෆිල්ම් එක සරලවම කිව්වොත් Action-Comedy දෙක අපූරුවට එකතු වුණු, ආරම්භයේ ඉඳන් අවසානය වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් නියම ත්රාසජනක සිනමා නිර්මාණයක්. කතාවේ රසය නැතිවෙන නිසා ලොකුවට spoil නොකර කිව්වොත්, මේක ගෙතෙන්නේ ගෝල්ඩ් කෝස්ට් රෝහලේ මරණාසන්නව ඉන්න පොඩි ගෑණු ළමයෙකුගේ ජීවිතය බේරගන්න අත්යවශ්යම කරන වෛද්ය පාර්සලයක්, එහෙමත් නැත්නම් බද්ධ කිරීමට අරන් එන දුර්ලභ ගණයේ අක්මාවක් අරගෙන යන අතිශය භයානක ගමනක් වටායි. මේ ගමනට එකතු වෙන්නේ හෑන්ක් මැලෝන් කියන හිටපු හමුදා සෙබළා සහ බෙන් බිෂොප් කියන කටකාර, විනෝදකාමී වෛද්යවරයා. හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නෑ, මොකද දරුණු කොලොම්බියානු පාතාල කල්ලියකටත් තමන්ගේ නායිකාවගේ ජීවිතය බේරගන්න මේ වටිනා අවයවය ඕනෙ වෙලා තියෙන නිසා, මුළු චිත්රපටයම දිවයන්නේ මේ මාරක ලුහුබැඳීමෙන් බේරිලා, අක්මාව අක්රීය වෙන වෙලාවට කලින් අරමුණට යන හැටි ගැනයි. මේ ෆිල්ම් එක බලද්දී කාට වුණත් නිරායාසයෙන්ම මතක් වෙන්නේ රීචර් චරිතයයි. මොකද ඇලන් රිච්සන් මේකෙ රඟපාන ‘හෑන්ක් මැලෝන්’ චරිතයයි, ජැක් රීචර්ගෙයි අතරේ පුදුම සමානකම් ගොඩක් දකින්න ලැබෙනවා. රීචර් වගේම හෑන්ක් කියන්නෙත් කතාබහ ටිකක් අඩු, තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න, හැබැයි ප්රශ්නයක් ආවොත් තමන්ගේ යෝධ සිරුර පාවිච්චි කරලා විරුද්ධවාදීන්ව ගහලා කුඩු කරලා දාන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. හෑන්ක් කියන්නෙත් ඇමරිකානු හිටපු ‘නේවි සීල්’ භටයෙක්. ඒ නිසා සටන් කිරීමේ හැකියාව, ආයුධ සහ තුවක්කු පාවිච්චි කිරීමේ උපක්රම, සහ ඕනෑම භයානක වෙලාවක කලබල වෙන්නේ නැතුව සීතල මොළෙන් තීරණ ගන්න විදිහ හරියටම ජැක් රීචර්ව මතක් කරනවා.
හැබැයි මේ චරිත දෙකේ ලොකු වෙනසකට තියෙන්නේ, රීචර් කියන්නේ කිසිම තැනක ස්ථිරව ඉන්නේ නැති, කිසිම පෞද්ගලික බැඳීමක් නැති, තැනින් තැනට යන කෙනෙක් වුණාට, හෑන්ක් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. හෑන්ක් කියන්නේ තමන්ගේ අතීතයේ යුධ පිටියේදී වුණු දේවල් සහ අතින් වුණු වැරදි නිසා පවුල කඩාකප්පල් වෙලා, මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. එයාගේ නොසැලකිලිමත් බව හින්දා එයාගේ පුංචි දුවගේ ජීවිතේ පවා අහිමි වෙලා තියෙනවා. ඒත් දැන් ඒ වැරදි හදාගෙන, මත්පැන් නවත්තලා හොඳ මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන තාත්තා කෙනෙක්ගේ ප්රතිරූපය හෑන්ක්ගෙන් පේනවා. ඒ නිසා රීචර්ට වඩා ලොකු හැඟීම්බර බවක්, මනුශ්යත්වයක් සහ වේදනාවක් හෑන්ක්ගේ චරිතය ඇතුළේ තියෙනවා. හැබැයි වලි වලට සහ ඇක්ෂන් වලට බැස්සාම නම් හෑන්ක් කියන්නෙත් අර අපි දැකපු රීචර්ගේම ෆොටෝ කොපියක් කිව්වොත් හරියටම හරි. ඔයා ඇක්ෂන් ෆිල්ම් වලට පිස්සු වැටිලා ඉන්න කෙනෙක් නම්, මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හේතු කිහිපයක්ම තියෙනවා.
පළවෙනි සහ ප්රධානම හේතුව තමයි මේකෙ තියෙන “Race Against Time” නැත්තම් කාලයත් එක්ක කරන සටන කියන තේමාව. අක්මාව බද්ධ කරන්න තියෙන්නේ ඉතාම සීමිත වෙලාවක් නිසාත්, ටයිමර් එකක් එක්කම මේ ගමන යන නිසාත් ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ප්රේක්ෂකයින්ට හොඳ නොඉවිලිමත් බවක් නිර්මාණය වෙනවා. අනිත් වැදගත්ම කාරණය තමයි මේකෙ තියෙන ඇක්ෂන් සීන් වල තාත්වික බව. Scott Waugh කියන්නේ හැමදාමත් CGI වලට වඩා සැබෑ ලෝකේ කරන භයානක ස්ටන්ට් වලට තැන දෙන අධ්යක්ෂකවරයෙක්. ඒ නිසා මේකෙ තියෙන ඕස්ට්රේලියාවේ පාරවල් පුරා වාහන ලුහුබඳින දර්ශන, දරුණු වෙඩි හුවමාරු සහ ඇලන් රිච්සන්ගේ සිරාම තාත්විකයි, ඒ වගේම බරපතලයි.
ඊළඟට කතා කරන්නම ඕනේ දේ තමයි මේකට එකතු වෙන Owen Wilson ගේ රංගනය. ඇලන් රිච්සන්ගේ තියෙන රළු, නිහඬ, දැඩි ගතියට හරියටම ප්රතිවිරුද්ධ විදිහට ඕවන් විල්සන් එක දිගට කියවන, බයගුළු ඒත් අතිශය විනෝදකාමී චරිතයක් නිරූපණය කරනවා. මේ දෙන්නාගේ සුසංයෝගය නිසා අසූව සහ අනූව දශකවල අපි දැකපු සම්භාව්ය Buddy-cop චිත්රපට වල තිබුණු ඒ නියම ජවය මේකෙත් තියෙනවා. එක දිගටම වෙඩි තියාගෙන මරාගෙන යනවා වෙනුවට, ලේ ගලන අස්සෙත් මැදින් මැදින් බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් නියම දෙබස් ටිකක් මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඒ චරිතයේ අවසානය…. ඒක බලලාම දැනගන්න!
Runner වෙනුවෙන් මේ වෙද්දි IMDb මීටරේ 6.4ක් වෙනකන් කැරකිලා තියෙනවා. මට අනුව නම් ඒ මදි හැබැයි. කෙටියෙන්ම සහ සරලවම කිව්වොත්, මේක කිසිම කම්මැලිකමක් නැතුව ඇඟ හිරිවැටෙන ඇක්ෂන් ටිකක්, හදවතට දැනෙන ලස්සන සංවේදී කතාවක්, ඒ අතරතුරේ හිනාවෙන්න පුළුවන් සිදුවීම් ටිකක් තියෙන සමබර ෆිල්ම් එකක්. Reacher කතා මාලාව බලලා ඇලන් රිච්සන්ගේ රළු, දැඩි ඇක්ෂන් වලට ආදරේ කරන්න ගත්තු කෙනෙක්ට නම්, මේක මගඇරගන්නම නරක, ඒ පිපාසය හොඳටම සංසිඳවන සුපිරිම චිත්රපටයක් විදිහට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්.
එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️











