EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම

මේක නවතම DC Universe එකේ පළමු පරිච්ඡේදය වන Chapter One: Gods and Monsters යටතේ තිරගත වන දෙවනි චිත්‍රපටය වගේම DC විශ්වයේ මීළඟ ලොකුම ප්‍රොජෙක්ට් එක විදිහටත් මේ Supergirl මූවි එක සලකන්න පුළුවන්. ඇමරිකානු ඩොලර් මිලියන 170 ක පිරිවැයකින් තමා මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ. James Gunn මේ චිත්‍රපටයේ නම සරලව Supergirl කියලා කෙටි කළත්, මේක මුළුමනින්ම පාදක වෙන්නේ ප්‍රසිද්ධ කොමික් රචක Tom King සහ Bilquis Evely විසින් නිර්මාණය කරපු “Supergirl: Woman of Tomorrow” (2021-2022) කියන සුපිරි කොමික් මිනි-සීරීස් එක ඇසුරෙන්.
කතාව ගැන හැඳින්වීමක් කරන්න කලින් මේකෙදි ප්‍රධාන නළු නිළි කැළ ගැන කෙටියෙන් කියලා සරල පැහැදිලි කිරීමක් කරන්නම්. House of the Dragon කතා මාලාවෙන් ලෝකප්‍රකට වුණු Milly Alcock තමා Kara Zor-El නොහොත් Supergirl විදිහට මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. සාමාන්‍ය සුපර්මෑන් වගේ නෙවෙයි, මේ සුපර්ගර්ල් ටිකක් රෆ්, ඇටිටියුඩ් තියෙන, මානසිකව වැටුණු සහ තරහින් ඉන්න කැරැක්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා විදිහට අපිට දැකගන්න ලැබෙන්නෙ Krem of the Yellow Hills ව. එම චරිතයට පණ පොවන්නෙ Matthias Schoenaerts විසින්. ඔහු අභ්‍යවකාශ කොල්ලකරුවන් වගේම මිනිස් ජාවාරම්කරුවන් කණ්ඩායමක නායකයෙක්. Eve Ridleyව අපිට දකින්න ලැබෙන්නෙ Ruthye Marye Knoll චරිතයෙන්. තම පියා මරා දැමූ Kremගෙන් පළිගැනීම සඳහා සුපර්ගර්ල්ගේ සහය පතන කුඩා පිටසක්වල දැරිය විදිහට. අපේ පැරණි Aquaman වුණු Jason Momoa ව, Lobo චරිතයෙන් අපිට බලාගන්න ලැබෙනවා! ඔහු දැන් DCU එකේ ‘Lobo’ (Interstellar Bounty Hunter) විදිහට මේ මූවි එකට සම්බන්ධ වෙනවා. කොමික් එකේ ලෝබෝ නැතත් මූවි එකේ මෙයා ලොකු රෝල් එකක් කරනවා. David Corenswet වත් කාරාගේ ඥාති සොහොයුරා වන සුපර්මෑන් විදිහට මේ චිත්‍රපටය තුළදී බලාගන්න ලැබෙනවා කියලා කලින් වතාවෙදි නිවේදනය කෙරුනා වගේම පොඩි ටීසර් පාට් එකකින් ඒ බව තහවුරු වුණා ඔයාලට මතක ඇති. ඒවගේම කාරා දෙමව්පියන් වශයෙන් David Krumholtz (Zor-El) සහ Emily Beecham (Alura In-Ze) වත් චිත්‍රපටයේදි අපිට බලාගන්න ලැබෙනවා. මීට අමතරව කතාවේ විශේෂම සහ ප්‍රධානම කොටස්කරුවෙක් වෙන සුපර්ගර්ල්ගේ සුරතලා වන ක්‍රිප්ටෝ වත් බලාගන්න පුළුවන්.
එහෙනම් මං දැන් කෙටියෙන් විස්තර කරන්න හදන්නෙ කොමික් බුක් එකේ සම්පූර්ණම කතාව පැහැදිලි වෙන විදිහට. මූවි එක බලන්න කලින් කොමික් එකේ මුළු ස්ටෝරියම දැනගන්න අකමැති නං මීට එහාට කියවන්න එපා කියලත් ඔන්න මතක් කරනවා! 🚨 SPOILER ALERT 🚨 කතාවේ ප්‍රධානතම චරිතයක් වෙන Ruthye Marye Knoll කියන පිටසක්වල දැරියගේ පියාව, Krem of the Yellow Hills කියන දරුණු අභ්‍යවකාශ කොල්ලකාරයා විසින් ඉතාම අමානුෂික විදිහට ඝාතනය කරනවා. රූති තමන්ගේ පියා වෙනුවෙන් පළිගන්න පොරොන්දු වෙලා, ඒකට උදව් කරන්න පුළුවන් දක්ෂ සටන්කරුවෙක්ව හොයාගෙන විශ්වය පුරා යනවා. රූතිට අහඹු විදිහට Supergirl ව මුණගැහෙන්නේ රතු සූර්යයෙක් (Red Sun) තියෙන ග්‍රහලෝකෙකදි. කාරා තමන්ගේ 21 වෙනි උපන්දිනය සමරන්නයි එතනට ඇවිත් තියෙන්නෙ. මොකද ක්‍ර්‍රිප්ටෝනියන්ස්ලාට කහ සූර්යයා යටතේ බීලා වෙරි වෙන්න බැරි වුණාට, රතු සූර්යයා යටතේ වෙරි වෙන්න පුළුවන්. මේ වෙලාවේ කාරා ඉන්නෙ හොඳටම බීලා. ඔය අතරතුර Krem එතනට කඩා වැදිලා කරාගේ සුරතල් බල්ලා වෙන Krypto ට වස පොවපු ඊතලයකින් විදලා, ඔවුන්ගේ අභ්‍යවකාශ යානයත් හොරකම් කරගෙන පැනලා යනවා. ක්‍රිප්ටෝව බේරගන්න නං Krem ගාව තියෙන ප්‍රතිවිෂ (Antidote) ඕනෙ කියලා කාරා රූතිවත් එක්කගෙන Kremව හඹාගෙන විශ්වය පුරා අභ්‍යවකාශ යානයක චාරිකාවක් ආරම්භ කරනවා. හැබැයි කතාව අන්තිමේදී හෙළි වෙනවා ක්‍රිප්ටෝට ලොකු අනතුරක් නොතිබුණු බවත්, පළිගැනීම කියන්නේ සාර්ථක විසඳුමක් නෙවෙයි කියලා රූතිට තේරුම් කරලා දෙන්නයි කාරා එහෙම බොරුවක් කළේ කියලා. මේ දිගු ගමන අතරතුර ඔවුන් විවිධ අනතුරුදායක ග්‍රහලෝක සහ ශිෂ්ටාචාර පසුකර යනවා. ඒ අතරතුර කාරා තමන්ගේ කටුක අතීතය රූතිට පවසනවා. සුපර්මෑන් ක්‍ර්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වෙද්දී බබෙක් වුණත්, කාරා ඒ වෙනකොට අවුරුදු 14ක ගැහැනු ළමයෙක්. ක්‍ර්‍රිප්ටෝන්වලින් ඉතිරි වුණු Argo City කියන කොටස මත ජීවත් වෙමින් තමන්ගේ ඇස් පනාපිටම තමන්ගේ මව්පියන් සහ මුළු සගයන් පිරිසම ලෙඩ වෙලා, මිය යන හැටි දැකපු කෙනෙක් තමයි කාරා. ඒ නිසා ඇය තුළ තියෙන්නේ දැඩි මානසික කැලඹීමක් සහ වේදනාවක්. කතාවේ අවසාන භාගයේදී Krem ඇතුළු ඔහුගේ කල්ලිය (Brigands ලා) කොටු කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. මේ දරුණු සටනේදී සුපර්ගර්ල්ගේ අශ්වයා වන Comet (The Super-Horse), සුපර්ගර්ල් වෙත පැමිණි ක්‍රිප්ටනයිට් උණ්ඩයකට මුහුණ දීලා කාරාව බේරගෙන අවාසනාවන්ත ලෙස මිය යනවා. අන්තිමේදී Kremව අල්ලගත්තත්, රූතිට තේරෙනවා තමන්ට ඔහුව මරන්න තරම් හිත හයිය නැහැ කියලා. හැබැයි තමන්ගේ හොඳම යාළුවෙක් වුණු Cometගේ මරණය නිසා දැඩි සේ කෝපයට පත්වෙන කරා, Kremව මරන්න යනවා. නමුත් ඇය තමන්ගේ කෝපය පාලනය කරගෙන Krem ව නොමරා නීතියේ ඉදිරියට පමුණුවනවා. කතාව අවසන් වෙන්නේ වසර 300කට පසු අනාගතයකින්. එහිදී මහලු වියට පත්වුණු රූති, “Woman of Tomorrow” හෙවත් සුපර්ගර්ල් තමන්ගේ ජීවිතය වෙනස් කරපු හැටි සහ ඇය විශ්වයට කරපු සේවය ගැන පොතක් ලියන අයුරු පෙන්වනවා. විශේෂම දේ තමයි සුපිරි බලය නිසා ඒ වෙනකොටත් අපේ Krypto බල්ලා ජීවතුන් අතර ඉන්නවා. ඉතිං ඔය විදිහට තමයි අපිට Woman of Tomorrow කොමික් බුක් සීරිස් එකේ කතාව බලාගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය සහ කොමික් බුක් එක අතර සුළු සුළු වෙනස්කම් පවතිනවා. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. එහෙනම් ෆිල්ම් එක රසවිඳින්න ඔයාලට ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.

Comments