“අපේ අනාගතය තීරණය කරන්නේ දෙවියන් වහන්සේවත්, අපේ අතීතයවත් නොවේ.
නුඹට පුළුවන්… පාපය ජයගන්නට නුඹට පුළුවන්… ඇහෙනවාද ඔබට ඒ ගැඹුරු රහස? දෝංකාර දෙනවා ඒ වචන හිස් අවකාශයේ. ‘ටිම්ෂෙල්’… නුඹට පුළුවන්.”

අන්න ඒ නිදහස, අන්න ඒ තේරීම ගැන තමයි මේ කතාව. පටන් ගන්නවා එක්තරා අඳුරු යුගයක් අළු දුහුවිලි මැදින්. අමතක කරන්න බැරි තරම් තදින් හිතට කාවදිනවා මේ ගුප්ත රූප රාමු. මේ තමයි පහුගිය් ඔක්තෝබර් පළමු වෙනිදා නිකුත් වුණු “East of Eden”.

ගලාගෙන යනවා කාලය සලීනාස් නිම්නයේ සීතල සුළඟත් එක්කම. ලියවෙනවා එහි පරම්පරා දෙකක හද කම්පා කරවන ඉරණම. ට්‍රාස්ක් සහ හැමිල්ටන් යන පවුල් ද්විත්වය වටා ගෙතෙනවා මේ අඳුරු, එහෙත් අතිශය සුන්දර ආඛ්‍යානය. ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව සහ පාවාදීම මුසු වූ අමුතුම ලෝකයක් මවනවා ඔවුන් ඒ නිම්නය ඇතුළේ. කොහෙදෝ ඈතක ඉඳන් එන අතීතයක අන්ධකාරයේ සෙවනැලි දුවනවා ඔවුන්ගේ ජීවිත පතුලෙන්. අහිමි වීම් මැද අලුත් බලාපොරොත්තු හොයනවා මේ මිනිස්සු. එහෙත්, සැඟවී තිබෙනවා එහි කිසිවෙකුටත් එකවර නොපෙනෙන අඳුරු රහසක්. විවෘත කරන්නට බැරි තරම් බරයි ඒ රහසේ දොරටු.

ස්පොයිල් නොකර මේ කතාව ගැන කියනවා නම්, මේක හරියට නිදාගෙන ඉන්න ගිනි කන්දක් වගේ. ඇවිළෙනවා ඒක හිමින් හිමින්, ප්‍රේක්ෂකයාගේ හදවතත් එක්කම. දකිනවා අපි මෙහි මනුෂ්‍ය ස්වභාවයේ තියෙන සංකීර්ණම හැසිරීම්. එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්, එකිනෙකාට හාත්පසින්ම වෙනස් පාරවල් දෙකක යන හැටි පෙන්වා දෙනවා මේ කතාව අපූරුවට. තේරුම් ගන්නට අමාරුයි කවුද හරි, කවුද වැරදි කියන එක.
සලකන්නේ මේකයි තමන්ගේ ජීවිතයේ විශිෂ්ටතම නිර්මාණය ලෙසින්, ජෝන් ස්ටයින්බෙක් නම් වූ ඒ මහා ගත්කතුවරයා. ඔහු පවසනවා, තමන් මීට පෙර ලියූ හැමදෙයක්ම මේ යෝධ නිර්මාණය වෙනුවෙන් කළ පෙරහුරුවක් පමණක්ය කියා. කියවා නැත්නම් ඔබ තවමත් ඒ විශ්මිත පොත, දැනගන්න මේ නිකන්ම නිකන් කතාවක් නොවන වග. බයිබලයේ එන කේයින් සහ ඒබෙල්ගේ පැරණි කතාව, කැලැෆෝනියාවේ දූවිලි පිරුණු පොළව මත අලුතින් ලියනවා ඔහු. අකුරක් පාසා ගලාගෙන යනවා මිනිස් හිතේ තියෙන හැඟීම් සමුදායක්. පිටුවෙන් පිටුව දිග හැරෙනවා පාපය සහ යහපත්කම අතර තියෙන සදාකාලික යුද්ධය. අකුරු වලින් මැවූ ඒ මහා විශ්වය තමයි මේ රූප රාමු වලින් ඔබේ ඇස් ඉස්සරහට ගෙනත් තියෙන්නේ. ජීවමාන කරනවා ඔවුන් ඒ පොතේ හිටපු චරිත, හුස්ම වැටෙන දුරින්. පෙන්වා දෙනවා අපිට යහපත සහ අයහපත කියන්නේ කාසියක දෙපැත්තක් වගේ අපේම ඇතුළේ තියෙන දේවල් කියලා. දුවනවා අපේම ලේ වල අර කියන පාපය සහ පින දෙකම.

ඔබ නරඹන්නට කැමති කුමන ශානරයක නිර්මාණයක් වුණත්, ආදර කතා, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ හෝ අභිරහස් වුණත්, මඟහැරිය යුතු නැහැ ඔබ කිසිසේත්ම මේ අපූරු සලරුව. කතා කරන්නේ එය කෙළින්ම ඔබේ ආත්මයටයි. දකිනවා ඔබ එහි ඔබේම හිතේ හැංගිලා තියෙන කළු සහ සුදු පැතිකඩවල්. ඇදබැඳ තබාගන්නවා ප්‍රේක්ෂකයාව, ඒ ජීවමාන රංගනයන්, ඒ මියුරු සංගීතය, ඒ අතීතය සිහිගන්වන සිනෙමැටික් දර්ශන තල. දැනෙන්නට ගන්නවා ඔබට අර පරණ, නොස්ටැල්ජික් හැඟීම මුල්ම තත්පරයේ සිට අවසානය දක්වාම. හිතන්නට යමක් ඉතිරි කරනවා අවසාන රූප රාමුවෙන් පසුවත්. ප්‍රශ්න කරනවා එය ඔබේම පැවැත්ම ගැන. ගෙනයනවා අපිව වෙනමම මානයකට, ඒ කැමරා කෝණ සහ අඳුරු ආලෝකකරණය. දැනෙනවා හරියට අපිත් ඒ සලීනාස් නිම්නයේ අශ්ව කරත්තයක් පිටිපස්සේ නැග යනවා වගේ අමුතුම හැඟීමක්.

කිසිම දවසක පරණ වෙන්නේ නැති සදාකාලික කතාවක් තමයි මේක.
හොයාගන්න ඔබේම ‘ටිම්ෂෙල්’ එක. කිමිදෙන්න මේ ගැඹුරු සලීනාස් නිම්නයේ. දැනෙන්නට හරින්න ඒ අතීතයේ සුවඳ ඔබේ වර්තමානයට. විඳින්න මේ කතාව ඔබේ සියලු සංවේදනයන්ගෙන්. සදාකාලිකවම රැඳෙනවා නොඅනුමානයි මේ රූප රාමු ඔබේ මතකයේ, හරියට කවදාවත් නොමැකෙන ලස්සන කැළලක් වගේ, එහෙමත් නැත්නම් කවදාවත් අවදි වෙන්න අකමැති සුන්දරම හීනයක් වගේ…

සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ තිසුර සංජන විසින්.

Comments